බොහෝ විට ලාංකීය සමාජය තුළ සෑම තැනකම පාහේ නිරන්තරයෙන් අසන්නට දක්නට ලැබෙන්නේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගමන් කරන දරු දැරියන් පිළිබඳවය. එසේත නොමැත ම් වැඩිමහල් සහෝදර සහෝදරියන් ගිය ග යන බාල සොයුර සොයුරින් පිළිබඳවය.

මේ කතාවට පාදක වූ කේ.එම්. පාරමී වසන්ති මාරිස්ටෙලා පිළිබඳව කතා කරන විට පළමුවෙන්ම සඳහන් කරන්නට සිදුවන්නේ ඇයද එම කොට්ඨාසයට අයත් වන ක්‍රීඩිකාවක බවය.

එහෙත් ඇයගේ විශේෂත්වය නම් ලබන ඔක්තෝබර් මාසයේ පින්ලන්තයේදී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගිය ජූලි මාසයේ තායිලන්තයේ පවත්වන ලද තේරීම් තරගාවලියේදී ඇය සහභාගි වූ ඉසව්ව ජයගෙන ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් වීමය.

එම තේරීම් තරගාවලියේදී මීටර් 2000 බාධක දිවීමේ බාලිකා ඉසව්වට සහභාගි වූ පාරමී වි. 6 ත.35.02කදී අවසන් කොට රන් පදක්කම දිනාගෙන තිබුණේ අදාළ වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් අතර ලෝකයේ හොඳම තරග හිමි කාලය සටහන් තබමිනි.

මෙලෙස ඇය මාසයකට ආසන්න කාලයක් ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාවක ලෙස වැජඹුණද මේ වන විට ඇය පසුවන්නේ ලෝකයේ තෙවැනි තැනය.
Untitled-11
අංක එක අහිමි වුවත් ලෝකයේම තුන්වැනියා වීමද ලෙහෙසි පහසු වික්‍රමයක් නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කොහොම නමුත් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් සුසන්තිකා ජයසිංහට පවා ඇයගේ ක්‍රීඩා දිවිය තුළ මොහොතකට හෝ ලෝකයේ අංක එකට පැමිණීමට හැකියාව ලැබි නොතිබිණි.

පාරමී මාරිස්ටෙලා, මලල ක්‍රීඩා පිටියට එක්වන්නේ හලාවත අඹකඳවිල ශාන්ත රෝගුස් කනිටු විදුහ‍ලේ ඉගෙනුම ලබද්දීය. ඇයගේ වැඩිමහල් සොහොයුරිය කේ.එම්. නිශාන්ති දිල්හානි, ඇයට පෙර එම විදුහලින් මලල ක්‍රීඩා පිටියට පිවිස පෙන්වන ලද දස්කම් නිසා ක්‍රීඩා පාසලක් වන කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇගේ කුසලතා වැඩිදියුණු කරගන්නට වාසනාවන්ත වී තිබිණි.

එහිදී මීටර් 800 හා මීටර් 1500 යන ඉසව් ඔස්සේ ජාතික මට්ටමේ දස්කම් දැක්වූ නිශාන්තිට කුලියාපිටිය මැදි විදුහලෙන් ඉවත් වී කොළඹ පාසලකට එක්වීමටද අවස්ථාව ලැබි තිබිණි.

ඇය පාසලෙන් අස්වී කොළඹ පැමිණියත් ඇයට ලබාදීමට නියමිතව තිබූ පාස‍ලේ දොර නිශාන්තිට වැසී ගියාය. එහෙත් හිතවතකුගේ උපකාරයෙන් කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වූ ඇය එම විදුහලට මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දෙන්නට සමත් වූවාය.

කෙසේ වුවත් මේ වන විට ඇය ක්‍රීඩා පිටියේ නිතර අසන්නට දකින්නට නොලැබෙන චරිතයක් බවට පත්ව ඇත. එයට හේතුව ඇය දැන් සබරගමුව සරසවියේ උසස් අධ්‍යාපනය හදාරන සිසුවියක වීමය.

මලල ක්‍රීඩා පිටියට නිශාන්ති දිල්හානිගේ අඩුව නොදැනෙන්නට වගබලාගත් පාරමී වසන්ති මීටර් 400 ඉසව්ව ඔස්සේ හලාවත අඹකඳවිල කනිෂ්ඨ විදුහල වෙනුවෙන් ජයග්‍රහණ අත්කර දෙන්නට සමත් වූවාය. එම ජයග්‍රහණ ඇයටද කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට පැමිණීමට උපකාර වී තිබිණි.

නවය වසර දක්වා හලාවත කනිටු විදුහ‍ලේ අධ්‍යාපනය ලැබූ පාරමී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට එක්වීමෙන් පසු තෝරාගන්නේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වය. ඒ ඇයගේ පුහුණුකරු ජී.ඩී. ජනිත නදීශාන්ත ජයසිංහගේ මගපෙන්වීම යටතේය.

මීට වසර දෙකකට පෙර එනම් 2016 පෙබරවාරි මාසයේ කුලියාපිටියේ මැදි විද්‍යාලයට එක්වන ඇය මීටර් 2000 බාධක දිවීමේ පළමු තරගයට සහභාගි වන්නේ එම වසරේ පවත්වන ලද කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදීය. එය රුසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරගයක් ලෙස සංවිධානය කර තිබිණි. 16 හැවිරිදි පාරමී වි. 7 ත. 22කදී තරගය නිමාකොට පළමු ස්ථානය දිනාගත්තේ රුසියාවට යන අවස්ථාවද උදාකර ගනිමිනි.

රුසියාවේදී එම ඉසව්ව වි. 7 තත්පර 33කදී අවසන් කොට දෙවැනියා වූ පාරමී අනතුරුව එම වසරේම යාකුට්ස්හි පවත්වන ලද ජාත්‍යන්තර ළමා ක්‍රීඩා උළෙ‍ලේදී 4*400 ඉසව්වේ තෙවැනි ස්ථානය ලංකාවට දිනා දෙන්නට සමත් වී තිබිණි.

කෙසේ වුවත් ඉන් අනතුරුව පාරමීගේ කුසලතා වේගයෙන් කඩා වැටෙන්නට වූ බැවින් ඇයගේ පුහුණුකරු හා විදුහ‍ලේ බලධාරීන් ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

අදාළ වෛද්‍ය පරීක්ෂණයේදී පාරමී හිමොග්ලොබින් හෙවත් යකඩ ඌනතාවකින් පෙළෙන බව අනාවරණය කරගනු ලැබිය.කොහොම නමුත් දරාගැනීමේ ශක්තිය රඳවා ගැනීමට යකඩ ඉතා වැදගත් බැවින් තාවකාලිකව මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ඉවත් කොට මීටර් 100 හා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගවලට සහභාගි කරවන්නට පුහුණුකරු පියවර ගෙන තිබිණි.

ඉනුදු සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් පාරමී සමස්ත ලංකා මට්ටමින් මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයේදී දෙවැනි ස්ථානයත්, මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේදී තෙවැනි ස්ථානයත් දිනා ගන්නට සමත් වූවාය.
ඉන් අනතුරුව මලල ක්‍රීඩාවේ නිවාඩු කාලය උදා වූ අතර එම කාලය තුළ අවුරුදු 16න් පහළ බාලිකා රගර් ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකා පිල සමග ඩුබායිහි පැවති ආසියානු යොවුන් බාලිකා රග්බි තරගාවලියට සහභාගි වීමටද පාරමීට අවස්ථාව ලැබිණි.

එම අවස්ථාව ඇයටත් එම පාස‍ලේ තවත් ක්‍රීඩිකාවන්ටත් ලැබි තිබුණේ පවත්වන ලද අන්තර් පාසල් තරගාවලියට කුලියාපිටිය මැදි විදුහල නියෝජනය කරමින් දක්වන ලද දස්කම් පදනම් කරගෙනය.

චින්ග් ත්‍රී ක්‍රීඩිකාව ලෙස රග්බි තරගාවලියට පාරමී සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකාවට හිමි වී තිබුණේ 7 වැනි තැනය.
ඒ තරගාවලියට පාරමීව යොමු කළාට තවදුරටත් එයා රග්බි ක්‍රීඩාවට යොමු කරන්න බලා‍පොරොත්තුවක් නැහැ. කාන්තා රග්බි ක්‍රීඩාවෙන් ලංකාවට ලොකු දෙයක් කරන්න බැහැ. නමුත් පාරමීට මලල ක්‍රීඩාවෙන් ලංකාවට ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබාගත හැකියි යනුවෙන් පුහුණුකරු ජනිත නදීශාන්ත අප සමග සඳහන් කළේය.

නිසි ප්‍රතිකාර ලැබූ පාරමී 2018 වසර වන විට නැවතත් මලල ක්‍රීඩා පිටිය කලඹන දස්කම් අතරට එක්ව සිටියාය.
ඒ අනුව ඇය පසුගිය ජුනි මාසයේ ජපානයේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 3000 බාධක දිවීමේ තරගය වි. 10 ත. 21කදී අවසන් කොට රන් පදක්කම දිනා ගත්තාය.ජූලි මාසයේ තායිලන්තයේදී ඇය ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වූවාය. එම මාසයේම පින්ලන්තයේ පැවති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 3000 බාධක දිවීමේ මූලික වටයේ තරගයේදී 5 වැනි ස්ථානයට පත්ව තිබිණ.

අනතුරුව ඇයගෙන් අනාගත ඉලක්ක මොනවාදැයි රිවිර කළ විමසුමට පිළිතුරු දුන් පාරමී මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේදී පදක්කමක් දිනා ගැනීම පළමු ඉලක්කය බව සඳහන් කළාය.

මම ඊට පස්සේ 2020 පවත්වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තාවක් පිහිටුවන්නත් එම වසරේම පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් දිනාගන්නත් බලා‍පොරොත්තු වෙනවා යනුවෙන් වැඩිදුරටත් ඇය පැවසුවාය.

කෙසේ වුවත් එපමණකින්ද ඇය මලල ක්‍රීඩා චාරිකාව නිම කරන්නට බලා‍පොරොත්තුවක් නැත. ඕනෑම ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක අවසාන ඉලක්කය ලෙස සඳහන් කරන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලය.

පාරමීටද එය එසේමය. ඒ අනුව 2020 වසරේ ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ සුදුසුකම් සපුරා ගන්නටත්, 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේදී පදක්කමක් දිනාගැනීමත් ඇයගේ අපේක්ෂාවය.

ඇගේ ඒ සිහින සැබෑ වුවහොත් තවමත් ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස තනි වී සිටින සුසන්තිකා ජයසිංහගේ තනිකම මකා දමන්නට 2024 වසරේදී පාරමීට හැකිවනු ඇත.

ඒ වන විට ඇය පසුවන්නේ 24 හැවිරිදි යොවුන් වියේ බැවින් ඇයගේ අපේක්ෂා මල්ඵල ගන්වන්නට විදුහල්පති එච්.එම්.එන්. හේරත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේද නොමඳ සහාය ලැබෙන බව පුහුණුකරු ජනිත නදීශාන්ත මහතා රිවිරට පැවසීය.

කුලියාපිටිය මැදි මහ විදුහ‍ලේ විශේෂත්වයක් පිළිබඳ සඳහන් කළ පුහුණුකරු ජනිත නදීශාන්ත ප්‍රකාශ කර සිටියේ මෙම විදුහ‍ලේ සිසුවකු හෝ සිසුවියක විදේශීය තරගාවලියකට තෝරාගනු ලැබුවහොත් පාස‍ලේ පවත්වාගෙන යන අරමුදලෙන් රුපියල් 50000ක් බැගිනුත් ලබාදීමට පියවර ගන්නා බවය.

ජපානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනාටම මසකට රුපියල් 75000 බැගින්ද පුහුණුකරුවන්ට රුපියල් 25000 බැගිනුත් ලබාදෙන්න අනුග්‍රාහකයන් සොයා දීමට පියවර ගන්නා බවට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ‍පොරොන්දු වුණා යැයි ජනිත නදීශාන්ත වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවත් පාරමී වැනි අංකුර අවධියේ අන්තර්ජාතික මට්ටමේ දස්කම් පෙන්වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහය දැක්වීමට ව්‍යාපාරික ප්‍රජාව, ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත් වනතුරු බලා සිටීම අප දකින්නේ රටේ අවාසනාවන්ත තත්ත්වයක් ලෙසිනි.

ව්‍යාපාරික ආයතන බොහෝමයක් ප්‍රජා සත්කාරක වැඩසටහන් වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් වෙන් කරන බවත්, එම මුදල්වලින් ඔවුන් වාර්ෂිකව එක දිගටම විවිධ ක්‍රීඩා තරග මාලාවන්ට සත්කාරය ලබාදීමට ලෝබ නැතිව ඉදිරිපත් වන බවත් නොරහසකි.

විදේශීය රටවල නම් මෙවැනි දස්කම් දක්වන ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් හමුවුවහොත් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වන්නේ ‍පොරකමිනි.

වර්තමානයේ අඩිඩාස්, යොනෙක්ස්, නයික්, පූමා වැනි ආයතන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට අනුග්‍රහය දක්වන්නේ එබැවිනි.

පාරමී කියන්නේ ශක්තිමත් ආර්ථික පසුබිමක් නොමැති පවුලක දැරියකි. ඇගේ පියා හලාවත අඹකඳවිල මුහුදු තීරයේ තෙප්පමක පිහිටෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන අසරණයෙකි.

ක්‍රීඩා තරග මාලාවන්ට අත දිගහැර අනුග්‍රහය ලබාදෙන ව්‍යාපාරික ප්‍රජාව ඇස් හැර බැලිය යුත්තේ පාරමී වැනි කුසලතා ඇති දරු දැරියන්ට දිරිය දෙන්නටය.

අවම වශයෙන් වසර 4ක කාල සීමාවකට හෝ ඇයටත් ඇයගේ පුහුණුකරුටත් අනුග්‍රහය ලබාදෙන්නට ව්‍යාපාරික ආයතනයක් ඉදිරිපත් වුවහොත් ඇයට අනිවාර්යයෙන්ම තමන්ගේ ඉලක්කය හඹාගොස් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකිවනු නියතය. අප හැම කළ යුත්තේ ඒ දක්වාම ඇය දිරිගන්වමින් ඉලක්කය කරා රැගෙන යාමය.

සීවලී එදිරිවීර