පඩිය නිසා මේ රටේ මේ තරම් ආරවුල් ඇති වූ තවත් කාලයක් තිබුණාදැයි මතකෙට එන්නේ නැති තරම්ය. ඒ තරමටම පඩි නිසා ගැටුම්ය. මැති ඇමැති පඩි ගැන කතාවෙන් රටම පත්තු වී යාන්තම්  නිවී යන්නටත් ඉස්සෙල්ලා දැන් පඩි ප‍්‍රශ්නය ඇදගත්තේ දුම්රිය සේවකයන්ය. ඒ වැටුප් විෂමතා ඉවත් කරදෙන ලෙස ඉල්ලා රටේම දුම්රිය ගමන් අඩාළ කරමිනි. ඒකේ පරිප්පුව හොඳටම කෑවේ මගී ජනතාවයි. මේ රටේ සාමන්‍ය ජනතාවට හැමදාම මොකක් හෝ හොඳ පරිප්පුවක් කෑමේ අවස්ථාව නම් දෙයියනේ කියලා හිමි වන බව දැන් පැහැදිලිය. දවස් ගණනාවක් කෝච්චියක් නැතුව රස්සාවට යන්නත්, ගෙදර යන්නත් නැතිව පාරවල්වලත් ස්ටේෂන්වලත්  මහජනතාව ඒ පරිප්පුවේ රස බැලූවේ කාගේ මාළු කනවාදැයි කියා හිතා ගන්නවත් බැරුව බව හොඳටම පෙනෙන්නට තිබුණි. අවසානයේ ජනතාවගේ පීඩනය පිටව ගියේ පොදු දේපොළ පිටින්මය. එය අනුමත කළ හැක්කක් නොවුනද එවැනි අවස්ථාවක ජනතාවගෙන් ඊට වඩා හික්මුණු චර්යාවක් බලාපොරොත්තු විය හැකිද ?

ගෙදර යන්න ගිය මිනිස්සු කොටුව ස්ටේෂම ඉස්සරහා වැටවල් උඩ නැග වෘත්තීය සමිතිවලටත්, දේශපාලන චරිතවලටත් ලූණු ඇඹුල් ඇතුව ඇමතුවේ ඔවුන් තුළින් ආ සැබෑම ආවේගය නිසාය. ඒවා කල්තියා සැලසුම් කළ නාට්‍ය නොවන බව පැහැදිලිව පෙනුණි. හැබැයි මේක නාට්‍යයක්  කරවන්නට  කල් තියා සැලසුම් කළ පිරිසකුත් මේ පිටුපස ඉන්න බව කාටත් පැහැදිලිය. එය එසේ නොවේ නම් වෘත්තීය සමිති කිසිදු වග විභාගයක් හෝ කලින් දැනුම්දීමක් නැතිව සිතාමතාම වර්ජනයකට යා යුතු නැත. මේක පැහැදිලි ලෙසම ජනතාව අපහසුතාවට පත් කිරීමේ සැලසුමකි.

රටේ රාජ්‍ය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙලෙස හැසිරෙන්නේ නම් රාජ්‍ය සේවයේ අනාගතය දෙයියන්ටම භාරදිය යුතුය. පෞද්ගලික අංශයේ සේවකයාද,  රාජ්‍ය අංශයේ සේවකයාද, වෘත්තීය සමිති සේවකයාද මේ රටේම පුරවැසියන්ය. ඒ සියල්ලෝම බදු ගෙවමින්, දුක් විඳිමින් ජීවත්වන මහජනතාවය. ඒ අතරින් කුලකයක් තම පෞද්ගලික වුවමනාවක් මුදුන්පත් කරගැනීම සඳහා අනෙක් බහුතරය බිලි දෙන්නේ නම් හෝ පාවා දෙන්නේ නම් ඔවුන්ගේ සදාචාරය ගැන ප‍්‍රශ්නයක් මතු වේ.

උසස් පෙළ විභාගය ආරම්භ වී දින දෙක තුනක්වත් ඉක්ම යන්නට මත්තෙන් ආරම්භ කළ මේ වර්ජනයේ ප‍්‍රතිඵලය ලෙස සිසු සිසුවියන් කී දෙනකුට සිය විභාගය අහිමි වන්නට ඇත්ද? එසේ විභාගය ලියන්නට නොහැකි වූ සහ විභාග ශාලාවන්ට ප‍්‍රමාද වී ගිය සිසුන් ගැන වටින් ගොඩින් තොරතුරු අනාවරණය විය. ජීවිතයේ තීරණාත්මක කඩඉමක් අහිමි වන එවන් දරුවකුගේ අනාගතයට වගකියන්නේ මෙකී  කුහක වැඩවර්ජකයන්ද? ඊට වඩා කුමක් අසන්නටදැයි කියා අපට තේරෙන්නේ නැත.

දුම්රිය වර්ජනයට දින දෙකකට පෙර පොල්ගහවෙල පනලියේදී සිදුවූ දුම්රිය අනතුරෙන් පුද්ගලයින් විස්සකට වඩා තුවාල ලැබීය. දුම්රිය සේවකයින් හැසිරෙන ආකාරයට නම් පනලියේ සිදුවීම වුවද හුදෙකලා සිද්ධියක් ලෙස සිතන්නට අපිට හැකිද? මිට සති කිහිපයකට පෙර මගීන් ගෙන ගිය දුම්රියක් කැලෑ පෙදෙසකදී නවත්වා බැසගිය දුම්රිය රියැදුරන් ගැන පුවතක්ද දක්නට ලැබුණි. සොච්චම් පඩියකට කන්තෝරුවක සේවය කරන මනුස්සයකුට ඇති එකම සැනසීම ?

බෝවී හෝ  නිවී සැනසිල්ලේ ගෙදරට පැමිණීමය. අඹු දරුවන්, මවුපියන් ඔවුන් එනතුරු බලා සිටින්නේ රජ සැප අරගෙන එන නිසා නොවේ. අඩුම තරමේ උදෑසන ගෙදරින් පිටවූ මනුස්සයා නිරුපද්‍රිතව කරදරයක් නැතිව ආපසු ගෙදර එනවා දැක ගන්නට ඇති වුවමනාව නිසාය.

සීසන් එකක් අරගෙන කෝච්චියේ යන මනුස්සයෙක් ළඟ සමහර වෙලාවට බස් එකට දෙන්නවත් රුපියල් සියයක් නැත. ණය ගෙවා , ගෙදර බඩු මුට්ටු අරගෙන කුලී මලී, ලයිට් වතුර බිල් ගෙවුවාට පස්සේ ඉතුරු වෙන්නේ සීසන් එක විතරය. රටේ දුම්රිය ගැන විශ්වාසය තියාගෙන සීසන් එක ගුලි කරගෙන එන මනුස්සයාට වර්ජනයක් සෙට් වීම පොලූ පහරක් දීමට සමානය. එහෙම දවසට කොටුව ස්ටේෂම ඉස්සරහා නිදාගන්නා හිඟන්නාටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට මගියා ඇද වැටේ. මේවා වෘත්තීය සමිතිවලටවත්, දේශපාලන ලොකු ලොක්කන්ටවත් පෙනෙන කාරණා නොවේ. සමාජජාල ඔස්සේ සංසරණය වූ මගීන්ගේ බැණුම් ප‍්‍රසිද්ධ මාධ්‍යයක පළකරන්නටත් බැරි තරමේ නොසරුප්වදන්වලින් පිරී තිබුණි. ඒ වදන් තුළ වූයේ සියලූම දේශපාලනඥයන් සහ වර්ජකයන් පිළිබඳව වූ වෛරයක්ය.

රටක ජනතාව වෛරයෙන් ජීවත්වන තැනට පත් කිරීම එතරම් හිතකර තත්ත්වයක් නොවේ. එය අස්ථාවර රටක ලක්ෂණයකි. දැන් ජනතාව ඒ තැනට ඇදදමා තිබේ. තැළෙන යකඩය උඩ පැන පැන තළනවා සේ මහජනයා මහමගදීද තළන්නට දැන් වැඩ සිද්ධවෙමින් තිබේ. එදිනෙදා ජීවිතයේ පටි තදකරගෙන සිටිනා ජනතාව මහමගදී කාගේ හෝ පටු අරමුණක් වෙනුවෙන් තැළෙන්නට වුවමනා නැත. ජනතා වෛරයට පාත‍්‍ර නොවී ඒවා බේරුම් කිරීම ආණ්ඩුවේ වගකීමය.