විශේෂ පාර්ලිමේන්තු  පනතකින් වසර 1927 දී බිහි කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන් 25 දෙනෙකු සැදුම්ලත් කමිටුවක් විසින් පාලනය වනු ලැබේ. මෙම සාමාජිකයින්ගෙන් පස්දෙනකු විෂය භාර  එනම් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරනු ලබන්නේය. මෙම සාමාජිකයින් පස්දෙනා අතරට වෛද්‍ය සභාවේ සභාපතිවරයාද ඇතුළත් වන්නේය.

මේ අනුව සභාපතිවරයා පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ඇත්තේ ද විෂය භාර ඇමැතිවරයාට පමණි. සභාපති තනතුරු සඳහා පත් කරනු  ලබන පුද්ගලයා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු හා අත්දැකීම් බහුල ජේ්‍යෂ්ඨයෙක් වන්නේය.

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය සභාවට තෝරා ගනුයේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි.

ඉතිරි සාමාජිකයින්ගෙන් අටදෙනකු වෛද්‍ය පීඨ අටෙන්ද එක් සාමාජිකයෙක් දන්ත වෛද්‍ය පීඨයෙන්ද තේරී පත් වන්නේය. මෙහිදී බොහෝවිට සාමාජිකත්වය සඳහා නම් කරනුයේ පීඨාධිපතිවරුන්ය. පීඨාධිපතිවරයකු  සමාජිකත්වය ලබා නොගන්නේ නම් එම පීඨයේ වෙනත් වෛද්‍යවරයකුට ඒ සඳහා ඉදිරිපත් විය හැකිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අටදෙනකු ඔවුන්ගේම ඡන්දයෙන් තේරී පත්වන අතර දන්ත හා සහකාර වෛද්‍යවරයෙක් ද සභාවේ අසුන් ගන්නේය. සාමාජිකයින් 25 දෙනා සැදුම්ලන්නේ මේ අයුරිනි.

රෝගී ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා   වෛද්‍යවරුන්ව නියාමනය කිරීම හා ගුණාත්මක වෛද්‍යවරයෙක් සෞඛ්‍ය සේවාවට එක් කිරීමක් කරනු ලබන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් අනතුරුවය.
වෛද්‍ය සභාව මගින් පුළුල්ව අධීක්ෂණය කර ඇති වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයා ගුණාත්මක යැයි වෛද්‍ය සභාව පිළිගන්නේය. ඒ අනුව එම වෛද්‍යවරයාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා දෙන අතර ඔහු රෝගී සත්කාරයේ යෙදෙන තාක් කල් ඔහුව පුළුල්ව පරික්ෂාවට ලක් කරනු ලබන්නේද වෛද්‍ය සභාව විසිනි.

යම් හෙයකින් මෙසේ ලියාපදිංචිය ලබා ගන්නා වෛද්‍යවරයෙක් තම වෘත්තීයට නොගැළපෙන ආකාරයෙන් කටයුතු කර ඇති බවට තහවුරු වුවහොත් ඔහුගේ ලියාපදිංචිය අහෝසි කිරීමට වෛද්‍ය සභාව නොපිරිහෙලා කටයුතු කරන්නේය.

තවද යම් වෛද්‍යවරයෙක් රෝගි සත්කාර සේවා නිසි පරිදි සිදු නොකළ බවට යමෙකු වෛද්‍ය සභාවට පැමිණිලි කළහොත් ඒ බව සොයා බලා එම  වෛද්‍යවරයා වරදකරුවකු වන්නේ නම් ඔහුගේ ලියාපදිංචිය අහෝසි කිරීමට කටයුතු කරනු ලැබේ. ඔහුගේ ලියාපදිංචිය අහෝසි කිරීමත් සමග ඔහුට වෛද්‍යවරයකු ලෙස තවදුරටත් සේවය කිරීමට නොහැකි වන්නේය.

වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කරනු ලබන්නේ විෂයභාර ඇමැතිවරයා විසිනි. වෛද්‍ය සභාවට පත් කරන සභාපතිවරයාගේ ධූර කාලය වසර පහකි. ඒ අනුව වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධූර කාලය පසුගිය සැප්තැම්බර් මාසෙන් අවසන් වීම හේතුවෙන් හිස් වූ එම තනතුර සඳහා වෛද්‍ය සභාවේම සාමාජිකයකු ලෙස කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පත් කළේය.

ඒ අනුව ඔහුගේ ධුර කාලය වසර පහක් දක්වා පවතිනු ඇත. එහෙත් පසුගිය සතියේදී හිටි හැටියේ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූයේ තවත් වසර හතරකුත් මාස තුනක් තිබියදීය. ඔහුගේ මෙම ඉල්ලා අස්වීමත් සමග ඇමැතිවරයා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හඬනැගීය.

ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට ඇමැතිවරයා කටයුතු කළහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවකි.

ශ්‍රි ලංකා වෛද්‍ය සභාව තුළ හදිසියේම ඇති වූ මේ දෙදරායාම කුමක්ද යන්න පිළිබඳව අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි.

“ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට විෂය භාර ඇමැතිරයා තමන්ට හිතවත් පුද්ගලයෙක් සභාපති ලෙස පත් කළේ ඇමැතිවරයාගේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට. එහෙත් වෛද්‍ය සභාව තියෙන්නේ ඇමැතිවරයාගේ අභිමතාර්ථ ඉටු කරන්න ‍නෙවෙයි. වෛද්‍යවරන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ඔවුන්ව නියාමනය කරන්න. ඒ මගින් රෝගී ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමටයි. අපි ඒ වැඩපිළිවෙළ මොනම හේතුවක් නිසාවත් නැති කරන්න දෙන්නේ නැහැ. වත්මන් සභාපතිවරයා නොයෙක් වර උත්සහ ගත්තා නීතිවිරෝධී වැඩ කරන්න. නමුත් අපි ඒවට ඉඩ දුන්නේ නැහැ. විදේශී පුහුණුව නිම කර මෙහි පැමිණ වෛද්‍ය ශිෂ්‍යයින් 29 දෙනකු වෛද්‍ය සභාව තුළ ලියා පදිංචි කරන්න හැදුවා. පරික්ෂා කරද්දී ඔවුන්ට අවම සුදුසුකම වන එස් තුනවත් නැති අයයි. අපි ඒකටත් ඉඩ දුන්නේ නැහැ.

අනික් කාරණය තමයි ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ඇවිල්ලා පෞද්ගලික රෝහල්වල සේවය කරනවා. ඒ අයව වෛද්‍ය සභාව තුළ ලියා පදිංචි කරන්න හැදුවා. ඒක නීතිවිරෝධීයි. මොකද විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙක් මෙරට සේවය කරනවා නම් ඔහු තමාගේ මව් රටේ වෛද්‍ය සභාවෙන් ලියාපදිංචි වෙලා ඒ සහතිකය මෙරට වෛද්‍ය සභාවට පෙන්විය යුතුයි. ඊට පසුව තමයි වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා දීමට කටයුතු කරන්නේ.

අපේ සාමාජිකත්වය මෙවැනි අකටයුතුකම්වලට දිගින් දිගටම විරුද්ධ වුණා. ඒ නිසා තමයි සභාපතිවරයා ඉල්ලා අස්වෙන්න ඇත්තේ. මොකද ඇමැතිවරයා ඔහුව පත්කළේ තමන්ගේ පටු අරමුණු ඉටුකර ගන්න. ඒවා කරන්න අපි ඉඩ දුන්නු නැති නිසා සභාපතිවරයා ඉල්ලා අස්වෙන්න ඇති.

සභාපතිවරයාගේ මේ ඉල්ලා අස්වීමත් සමග අපට දැන ගන්න ලැබුණා ඇමැතිවරයා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට කටයුතු කරනවා කියලා. ඒකයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපි එළියට බැස්සේ. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා වන තාක් කල් රෝගී ජනතාවගේ අයිතිවාසිකම් රැකෙනවා.

අනික යම් වරදක් කළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට  මහජනතාව කළ  පැමිණිලිවලට අනුව පරික්ෂණ සිදු කරලා වෛද්‍යවරුන් සියයකට වැඩි පිරිසකට දඬුවම් කරලා තියෙනවා.”

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
“ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වත්මන් පනත අනුව එයට තේරී පත්වන සාමාජිකයින්ගෙන් බහුතරය වෛද්‍යවරුන්. ඒ නිසා වෛද්‍ය සභාව මගින් රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැහැ. මගේ ධුර කාලය වසර පහක් වුණත් පත්වීම ලැබ මාස නවයක් තුළ මම ධුරයෙන් ඉල්ලා අස්වුණේ වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමට නොහැකි වන නිසා.

අපේ වෛද්‍ය සභා පනත වසර අසූවකටත් වඩා පැරණියි. ඒක අදට කොහොත්ම ගැළපෙන්නේ නැහැ. දියුණු රටවල් වෛද්‍ය සභා පනත වසර හතරින් හතරට සංශෝධනය කරනවා. වෛද්‍ය සභාවේ සභාපති ලෙසත් වසර හතරක සාමාජිකයකු ව සිටත් මම උත්සහ කළා මේ පනත වෙනස් කරන්න. නමුත් ඒක කරන්න බැරි වුණා. ඉතිං මගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවත් මේකයි.

වෛද්‍ය පනත සංශෝධනය කරන්න කරුණු ඉදිරිපත් කරන විට සභාවේ ඇතැම් අය එයට විරුද්ධව කටයුතු කළා.
සභාවේ සාමාජිකයින් විසිපස්දෙනාගෙන් දාසය දෙනකුකම වෘත්තීය සමිති සාමාජිකයින් වෛද්‍ය පීඨ ගුරුවරුන්ගේ සංගමයේ් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්. ඔවුන් වෛද්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කරන කොට රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කවුද?

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට රෝගීන්ගේ පැමිණිලි එනවා. ඒවා විනිශ්චය කර තීන්දු දෙන්නේ වෛද්‍යවරුන්. පැමිණිලි පාර්ශ්වයට එයින් සාධාරණයක් වෙනවද? මම වෛද්‍ය සභාවේ සාමාජිකයකුව වසර පහමාරක් සිටියා. නමුත් කිසිම පරික්ෂණයකින් වෛද්‍යවරයකු වරදකරුවකු වුණේ නැහැ. ඒකයි මම කියන්නේ මේ අඩුපාඩු සකස් කරන්න නව පනතක් ගෙන එන්න ඕනේ කියලා.”

ශ්‍රියානි විජේසිංහ