විධායක ජනාධිපතිවරුත් තිදෙනෙකුට, අගමැතිවරුන් දෙදෙනකුට, මැති ඇමැතිවරු සහ උගත් බුද්ධිමතුන් රැසකට දහම් මග පෙන්වූ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලට මේ වසරේ සියවසක් සපිරෙයි.

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක විධායක ජනාධිපතිවරු මෙන්ම ඩඩ්ලි සේනානායක, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ යන අගමැතිවරුන්ද වජිරාරාම දහම් පාස‍ලේ ආදි සිසුන් වේ. මීට අමතරව දිවංගත ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයාත්, වත්මන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් එහි ආදි සිසුන්ය. වජිරාරාම දහම් පාසලෙන් බිහිවූ රාජ්‍ය පාලකයන් මෙන්ම බුද්ධිමතුන්ද රැසකි. ඒ අතර ලෝපතල පී.ආර්. ඇන්තනිස් වැනි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුද වෙති.

රාජ්‍ය පාලකයන්ටත්, බුද්ධිමතුන් රැසකටත් ධර්ම දැනුම බෙදූ වජිරාරාම දහම් පාසල ධර්ම දැනුම බෙදීමේ කර්තව්‍යයට උරදී සියවසක් සපිරීම නිමිත්තෙන් ‘සදහම් සවිමත් පරම්පරාවක්-මිනිස් දහම් සරු ශ්‍රී ලංකාවක්’ යන තේමාවෙන් සිය සියවස් ජයන්තිය සැමරීමට සූදානම් වෙයි.

ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් ‘සති දහම් පාසල’ (යහපත් සිහියෙන්) ලෙස නම් කරමින් දරුවන් භාවනාවට යොමු කිරීමට සියවස සමරන මොහොතේ අදහස් කර ඇතැයි වත්මන් ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමියෝ පැවසූහ.

සෑම ඉරු දිනකම උදේ 8 සිට දහවල් 12 දක්වා කාලය තුළ දහම් පාසල පැවැත්වෙන අතර ගැහැනු දරුවන් ළමා සාරියත්, පිරිමි දරුවන් ජාතික ඇඳුමත් ඇඳීම අනිවාර්ය කර ඇත. වජිරාරාම දහම් පාස‍ලේ දරුවන් 3000ක් පමණ දහම් දැනුම ලබන අතර ශ්‍රද්ධා සම්පන්න ගුරු මහත්ම මහත්මීන් 200ක් පමණ දහම් දැනුම බෙදීමේ වෑයමට සහාය වෙති.

ඕල්කට්තුමාගේ සංකල්පයක් මත ඇරඹි දහම් පාසල් ක්‍රමය පරම විඥානාර්ථ සමාගමේ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහය ලබමින් රටපුරා ව්‍යාප්ත වන අවධියේ අගනුවර කේන්ද්‍රස්ථානයක් වූයේ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලයි. අධිරාජ්‍යවාදීන්ගේ බලයට යටත්ව බොහෝ බොදුනුවන් කතෝලික ආගම වැලඳ ගන්නා අවධියක් වූ 1918 දී පැලෑනේ සිරි වජිරඤාණ මහනායක මාහිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ සිරි වජිරාරාම දහම් පාසල ආරම්භ විය.

බම්බලපිටිය පාරම්පරික ගම්වාසීන් එක්ව සිය දහම් දැනුම දියුණු කරගැනීම සඳහා ධර්ම සමාගම නමින් සමාගමක් පිහිටවා එකල වැලි පාර නමින් හැඳින්වූ මාර්ගයේ ඉඩම් කොටසක් වෙන්කරවාගෙන 1898 වසරේදී එම ඉඩමේ ධර්ම ශාලාවක් ඉදිකර ඇත. පසුව වැල්ලවත්ත සුවිසුද්ධාරාමෙහි වැඩ විසූ පැලෑනේ සිරි වජිරඤාණ මාහිමිපාණන් එම ධර්ම ශාලාවට වඩම්මවා වජිරාරාමය ආරම්භ කර ඇත්තේ 1901 වසරේදීයි. විහාරස්ථානය අරඹා වසර 17ක් වැනි කෙටි කාලයක් තුළ වජිරාරාම දහම් පාසල ආරම්භ කර ඇත්තේ හරිහැටි ආවාස පහසුකම් නැති අඩු පහසුකම් මධ්‍යයේය.

බටහිරකරණය වෙමින් තිබූ සිංහල පවුල්වල දරුවන් දේශීය චින්තනයෙන් සවිමත් කිරීමත් ශ්‍රද්ධා සම්පන්න දරු පිරිසක් බිහි කිරීමත් මහනායක හිමියන්ගේ බලා‍පොරොත්තුව විය. දහම් පාසල ලෙස හැඳින්වූවද පළමුව ආරම්භකර ඇත්තේ ධර්ම පන්තියකි. ඒ ධර්ම පන්තිය ආරම්භයේදී එවකට සිටි ජාතික නායකයන්ගේ දරුවන් පවා ඊට ඇතුළත් කර තිබේ. එකල ධර්ම පන්තියේ අධ්‍යාපනය ලැබූවන් අතර ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, රොබට් සේනානායක, බර්නාඩ් සොයිසා වැනි පසුකාලීන කෘතහස්ත දේශපාලනඥයන්ද වෙයි.

පැලෑනේ වජිරඤාණ මාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය නාරද මාහිමියන් වජිරාරාමාධිපති ධුරයට පත්ව තිබේ. බටහිර රටවලට බුදු දහම රැගෙන ගිය පළමු සිංහල භික්ෂුව ලෙස ඉතිහාසයට එක්වූ නාරද මාහිමියන් වියට්නාමයේ අදටත් මිහිඳු මහරහතන් වහන්සේ වැනි පිළිගැනීමකට ලක්ව තිබේ. ව්‍යක්ත ඉංග්‍රීසි භාෂා දැනුමකින් හෙබි උන්වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසය හේතුවෙන් අධිරාජ්‍යවාදීන්ට නතුවෙමින් සිටි කොළඹ බොහෝ පවුල්වල දරුවෝ දහම් පාසල් අධ්‍යාපනයට යොමුවිය. මේ නිසා එකල බොහෝ දරුවන් දෙමව්පියන්ට වඩා දැහැමි විය.

මේ පිළිබඳ ඉතිහාස පුවතක්ද වජිරාරාමය සතුව පවතියි. ඩඩ්ලි සේනානායක හා රොබට් සේනානායක දෙසොහොයුරන් දිනක් දහම් පාස‍ලේදී ඔවුන්ගේ පියාට පසඟ පිහිටුවා වැඳ ආචාර කර ඇත. වැඩිහිටියන්ට එලෙස ආචාර කිරීමේ පළපුරුද්දෙන් බැහැර වූ අධිරාජ්‍යවාදී පරිසරයකට නතු වෙමින් තිබූ සේනානායක පවු‍ලේ පියාට දරුවන්ගේ ආචාරය නවමු අත්දැකීමක් විය. පසුව නාරද මහ නාහිමියන් සමග ඔහු සඳහන් කර ඇත්තේ “මගේ ජීවිතේ පළමු වතාවටයි දරුවෝ මේ විදිහට වැන්දේ” යනුවෙනි.

නාරද මාහිමියන් යටතේ දහම් පාස‍ලේ ප්‍රධානාචාර්ය ධුරයට පත් අම්පිටියේ රාහුල හිමියන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය අරඹා එහි නිත්‍ය වාසයට වැඩම කර ඇත. අනතුරුව දික්වැල්‍ලේ මහින්ද හිමි, සිරිමෙවන් පියසිංහ මහතාත් ප්‍රධානාචාර්ය ධුරය හොබවා තිබේ.

නාරද මහනායක හිමියන්ගේ අපවත් වීමෙන් පසු වජිරාරාමාධිපති ධුරයට මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පත්වූ අතර උන්වහන්සේ විසින් දරණාගම කුසලධම්ම හිමියන් දහම් පාස‍ලේ ප්‍රධානාචාර්ය ධුරයට පත් කළහ. මඩිහේ නාහිමියන්ගේ සමයේ දහම් පාස‍ලේ ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි. දරුවන්ට දහම් පාසල් නිල ඇඳුමත්, පන්සලට පැමිණෙන විට සුදුවතින් සැරසීම අනිවාර්ය කෙරුනේත් එසමයෙහිය.

මීට අමතරව දහම් පාසලට විශේෂ ප්‍රතිපත්ති පහක්ද මඩිහේ නාහිමියන් විසින් හඳුන්වා දී තිබේ. නිති පන්සිල් හා ‍පොහොය අටසිල් රැකීමට උත්සාහ කිරීම, කුල දෙවි මාපිය, ගුරුවර වැඩිහිටියන් පිදීමට යොමු කිරීම, චාම් ජීවිතයකට සහ සුහද ඇසුරකට හුරු කිරීම, සංවරකම, විනයගරුක බව හා ධර්ම ඥානය දියුණු කිරීම, ආගමාලයෙන් පිබිදුණු ස්වදේශ වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, ජාතිකාභිමානයෙන් මෙහෙයවුණු, ස්වභාෂානුරාගයෙන් පණවත් වුණු දරු පරපුරක් බිහි කිරීම යන එම ප්‍රතිපත්ති පහ ඔස්සේ අදටත් දහම් පාසල් සහ අනුබද්ධ දහම් පාසල් ක්‍රියාත්මක වෙයි.

පරාජිතයාට දුකකුත්, ජයග්‍රාහකයාට උද්දාමයකුත් ඇතිවන තරග නොපැවැත්වීම මේ දහම් පාස‍ලේ තවත් විශේෂත්වයකි. තරගකාරීත්වයකින් තොරව දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බවට මඩිහේ නාහිමි කළ යෝජනාවක් අනුව අදටත් එම ප්‍රතිපත්තිය දහම් පාසල තුළ ක්‍රියාත්මකය. දහම් අධ්‍යාපනයට මුල්තැන දිය යුතු හෙයින් ගැහැනු දරුවන්ටත්, පිරිමි දරුවන්ටත් වෙන් වූ පන්ති පැවැත්වීමද උන්වහන්සේගේ සමයේ සිට සිදුවෙයි.

මඩිහේ මහනාහිමිපාණන් විහාරාධිපති ධුරය දරන මෙසමයෙහි කළ ප්‍රතිපත්තිමය වෙනස්කම් දහම් පාසල තුළ ක්‍රියාත්මක කෙරුණේ එකල ප්‍රධානාචාර්ය ධුරය හෙබවූ දරණාගම කුසලධම්ම හිමිපාණන්ගේ මූලිකත්වයෙනි. මේ අතර 1998 වසරේදී වජිරාරාම දහම් පාස‍ලේම අධ්‍යාපනය ලැබූ ගංගොඩවිල සෝම හිමියන් දහම් පාස‍ලේ අධ්‍යක්ෂ ධුරයටත්, කඹුරුගමුවේ මහානාග හිමි ප්‍රධානාචාර්ය ධුරයටත් පත්විය. මඩිහේ මහනාහිමි අපවත් වීමෙන් පසු නාඔටුන්නේ ගුණසිරි හිමි කෙටි කලක් විහාරාධිපති ධුරය හෙබවූ අතර, වර්තමානයේ ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන් විහාරාධිපති ධුරය දරයි. උන්වහන්සේ දහම් පාස‍ලේ අනුශාසක ස්වාමීන් වහන්සේ ලෙසත්, කඹුරුගමුවේ මහානාග හිමියන් අධ්‍යක්ෂ ධුරයත්, මීගොඩ සුඛිත හිමි ප්‍රධානාචාර්ය ධුරයත් දරති.

බම්බලපිටිය වජිරාරාමයටත්, මහරගම සිරි වජිරාරාම ධර්මායතනයටත් අනුබද්ධ පන්සල් ආශ්‍රිතව ශාඛා  දහම් පාසල් පවත්වාගෙන යන අතර මේ සියලුම දහම් පාසල් එකම ප්‍රතිපත්ති මාලාවක් යටතේ ක්‍රියාත්මක වෙයි. රටක් වෙනස් කිරීමට වඩා මිනිසුන්ගේ හිත් වෙනස් කිරීම සඳහා දරුවන් හැදීම මේ සියලුම දහම් පාසල් හරහා කෙරෙන බව වත්මන් ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමියෝ සඳහන් කළහ.

රත්නපුර පැල්වාඩිය බෝධිගිරි විහාරයේ මහානාග දහම් පාසල, තෙලිජ්ජවිල සමරසිංහරාම විහාරස්ථානයේ දහම් පාසල, මාතර මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මවිජය දහම් පාසල, ත්‍රිකුණාමලයේ බෝධිරාජාරාමයේ ධර්මපාල දහම් පාසල, කුරුණෑගල සිරි වජිරඤාණ විහාරස්ථානයේ දහම් පාසල, මහනුවර ප්‍රිම්රෝස් වජිරාරාමයේ සිරි වජිරඤාණ දහම් පාසල, අනුරාධපුර සිරි වජිරඤාණ විහාරයේ දහම් පාසල, මහරගම සිරි වජිරඤාණ දහම් පාසල, නුවරඑළිය අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසලත් මෙලෙස එකම ප්‍රතිපත්තියේ පිහිටා ක්‍රියාත්මක වන දහම් පාසල්ය.

මේ අතර මඩිහේ නාහිමිපාණන්ගේ සංකල්පයකට අනුව ඇරඹූ මහරගම සිරි වජිරඤාණ දහම් පාසල සිසුන් 7000ක් සිටින ලංකාවේ විශාලතම දහම් පාසලයි. එහි ගුරු මණ්ඩලය 300කි.

මේ සියලු දහම් පාසල් මිනිසා හැදීමේ කර්තව්‍යයට උරදී සිටියි. දහම් දැනුමෙන් පිරිපුන් දරුවන් බිහිකර යහපත් හෙට දවසක් තැනීම මේ දහම් පාසල්වල බලා‍පොරොත්තුවයි.

රන්මලී සෝමසිරි
ඡායාරූප – සජීව චින්තක කහඳගමගේ

Untitled-2