“ශිෂ්‍යත්ව විභාගය” මේ වන විට ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්ම මෙන්ම බොහෝ ගැටලු ඇති කළ එමෙන්ම නොදක්නා නොපෙනෙන පැතිකඩ රැසක් ඇති කළ කඩඉමකි.

මේ කඩඉමට සමාජය අද ආමන්ත්‍රණය කරන්නේ අම්මලාගේ විභාගය ලෙසයි. ඒ වෙන කිසිවක් නිසා නොව මේ විභාගය සඳහා පහ වසර ළමුන්ට වඩා එම ළමුන්ගේ අම්මලාට තිබෙන උනන්දුව නිසාවෙනි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ තිබූ උපසංස්කෘතීන් මෙන්ම සුන්දර වූ ළමා ලෝකයේ ඇතැම් දේ වෙනස්වීමකට ලක් වී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් බව ඇතැමුන්ගේ මතය වී හමාරය.

ළමුන්ගේ සුන්දරම ළමා කාලය ටියුෂන් පන්තියකට ‍පොතපතකට සීමා කිරීමට දෙමාපියන් බහුතරයක් කටයුතු කරන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිය දරුවාට ලංකාවේ වැඩිම ලකුණු ගෙන ප්‍රථම ස්ථානයට පැමිණෙන සිසුවා හෝ සිසුවිය බවට පත් වෙන ලෙස බල කරමින්ය.

මෙය එම දරුවාට සිදු කරන මහා විනාශයක් මෙන්ම එම දරුවාගේ සැඟවී ඇති වෙනත් දක්ෂතාවන් තවත් සඟවා තැබිමක් ලෙස පෙන්වා දිය හැකිය.

දරුවන්ගේ මෙන්ම ලොව සෑම පුද්ගලයකුගේම දක්ෂතාවන් සහ සියලු ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්ය. දරාගැනීමේ ශක්තිය, දැරිය හැකි ප්‍රමාණය සහ තවත් ගුණාංග රැසක්ම මේ වූ කාරණයට බලපායි. ගණිතය, විද්‍යාව වැනි විෂයන්ට ඇති උනන්දුව සහ ඒ ඒ විෂයයන් කෙරෙහි ඇති දක්ෂතාවද එකිනෙකාට වෙනස් බව දෙමාපියන් තේරුම් නොගන්නේ මන්දැයි අද සමාජයෙන් විමසා සිටිය යුතු කරුණකි.

මෙහි සැබෑ කරුණක් සමාජය අමතක කරන බවක්ද පෙනී යන්නේය. ඒ ශිෂ්‍යත්ව විභාගය ඇත්තටම අවශ්‍ය, එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය තුළින් වෙනස් ලෝකයකට පිවිස තම අධ්‍යාපන සිහිනය සැබෑ කර ගත් සහ සැබෑ කර ගැනීමට හැකි පිරිසක්ද ශ්‍රී ලංකාව පුරා විහිදී සිටිති.

ප්‍රධාන පාසලකට පැමිණීමේ සිහිනය, උසස් මට්ටමක අධ්‍යාපන තත්ත්වය තිබෙන පාසලක් මෙන්ම ශිෂ්‍යත්ව ආධාර මුදල වටිනාකමක් ඇති දූ දරුවන් රැසක්ම මෙරට තුළ වෙති. ඒ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය අවශ්‍යම එකකි. ඒ වෙන කිසිවක් නිසා නොව තම අධ්‍යාපන සිහිනය ජය ගැනීමටය.

එහෙත් කොළඹ, ගාල්ල, නුවර, මාතර, කුරුණෑගල ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක්ම මේ වන විට ප්‍රධාන යැයි කියන, ජනප්‍රිය යැයි කියන පාසල් සංස්කෘතියකට හිමිකම් කියති. මෙවන් පාසලකට සාමාන්‍ය ගමක ළමයකුට දුප්පත් පවුලක ළමයකුට ඇතුළුවීම සිහිනයකි. එහෙත් ශිෂ්‍යත්වය නිසාවෙන් ඒ සිහිනය ජයගත් දූ දරුවන් රැසකි.

මෙකී ශිෂ්‍යත්ව විභාගය ඉකුත් දා පැවැති අතර සමාජය කතාබහට ලක්වූ සිද්ධීන් රැසක් එදින සිදු විය. ශිෂ්‍යත්වයට පෙර දිනයේ ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින දරුවන් රැසකට බලා‍පොරොත්තු නොවූ ඉරණමකට මුහුණ දෙන්නට සිදුවිය.

මේ කිසිවක් කිසිදු බාධාවක් නොකළ ගනිමින් ශිෂ්‍යත්වය සඳහා සහභාගි වීමට මෙම දරුවන්ගේ මනස ශක්තිමත් වීම සහ එම ක්‍රියාව අගැයීමට ලක් කළ යුතුමය.

කෙනෙකු මිය යාම ඔහුගේ ඥාතීන්ට හිතවතුන්ට සමීප පුද්ගලයන්ට දරාගත නොහැකි වේදනාවකි. අමතක නොකළ හැකි සිදුවීමකි. එහෙත් තම පියා හෝ මව මියයාම දරාගත නොහැකි සිදුවීමකි.

එහෙත් තම පියාගේ මරණය නිවසේ තැන්පත් කර තිබියදී ශිෂ්‍යත්ව විභාගය ලිවීම සඳහා විභාග ශාලාව වෙත ගිය දියණියක් පිළිබඳව ඉකුත් දා සමාජජාල වබේ අඩවිවල මෙන්ම පුවත්පත්වල තොරතුරු සඳහන් විය.
මේ සංවේදී පුවත අම්පාර පන්නල්ගම ප්‍රදේශයෙන් වාර්තා විය.

වන අලියකු පහර දීමෙන් මියගිය තම පියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදී එම දේහයට වැඳ නමස්කාර කර මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට විහංගි ආකර්ෂා දැරියට සිදුවිය.

මෙලෙස වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ අම්පාර පන්නල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. අනුර යන අයයි. ඔහුගේ හිතවතකුගෙන් අඳයට ගත් කුඹුරක් වගා කරමින් සිය දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයට වියදම් කිරීමට මොහු කටයුතු කළ බව පැවසේ.

වල් අලි ප්‍රහාරයට ලක් වූ අනුරට දියණියන් දෙදෙනෙකි. බාල දියණිය වන විහංගි ආකර්ෂා මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සූදානම් විය. ඒ තම පියාගේ ගුරුහරුකම් මැද්දේය.

එහෙත් නිවසට මඳක් ඈතින් පිහිටි කුඹුර වෙත ඉකුත් 2018.08.03 වැනිදා ගිය තම පියා වල් අලි ප්‍රහාරයකින් මිය යනු ඇතැයි ඇය කිසි විටෙක නොසිතන්නට ඇත. පියාගේ මරණය දරාගත නොහැකි වූ මේ කුඩා දියණිය තම පියාගේ සිහිනය මල්ඵල ගැන්වීම වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය ලිවීම කෙසේ හෝ කරන බවට දැඩි මානසිකත්වයකින් යුතුව අදිටන් කර ගත්හ. සිය පියාගේ දේහයට වැඳ නමක්කාර කර ඇය ශිෂ්‍යත්වය ලිවීම සඳහා කටයුතු කළේය. මේ සිද්ධිය අම්පාර පන්නල්ගම පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ නෙත ගැටුණු සංවේදී සිද්ධියක් බවට පත් විය.

තවත් සිද්ධීන් කිහිපයක්ම ශිෂ්‍යත්වය පැවැති දිනයේදී සිදුවිය. සමාජයට ආදර්ශයක් ගෙන දුන් සිද්ධීන් මේ අතර තිබිම විශේෂත්වයකි.

මහියංගණ හත්දන්නාව ද්විතීයික පාස‍ලේ පිහිටි ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානය දක්වා යමින් සිටි එක්තරා දියණියකට සහ මවකට නොසිතූ වේලාවක නොසිතූ අත්දැකීමකට මුහුණපාන්නට සිදුවිය.

දහසක් ‍පොදි බැඳගෙන මහියංගණය හන්දන්නාව අක්කර අසූවේ පදිංචි සයුරි සත්සරණි (10) සහ ඇගේ මව වන සේපාලිකා කුමාරි (35) පාසල වෙත ගමන් කරමින් සිටියේ පාපැදියකිනි. උදෑසන 7.15ට පමණ මොවුන් දෙදෙනා ගමන් ගත් මාර්ගය හරස් කළ අලියකු මේ දෙදෙනාට ප්‍රහාරයක් එල්ල කළේය. වාසනාවකට මෙන් මොවුන් දෙදෙනාට ජීවිත හානි සිදු නොවූ අතර තුවාල ලැබූ දෙදෙනා දිව ගොස් දිවි රැක ගත්හ.

දැරිය වහාම රෝහල්ගත කළ අතර ඇගේ මවට සිදුවූ තුවාල බරපතළ තත්ත්වයේ ඒවාය. දැරියට වහාම ප්‍රතිකාර ලබා දුන් රෝහ‍ලේ වෛද්‍යවරු දැරියගේ කැමැත්ත අනුව විභාග ශාලාව වෙත පිටත් කර හැරිණි. දැරියගේ මව රෝහල්ගත කර සිටියදී එම දැරිය විභාගය ලිවීම සඳහා තම මානසිකත්වය හදා ගනිමින් විභාගයට පෙනී සිටීම ශ්‍රී ලංකාවේ අනෙක් පාසල් දරු දැරියන්ටද ආදර්ශයකි.

ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් තවත් අකරතැබ්බයකට මුහුණ දුන්හ. ඒ පදවිය ‍පොලිස් වසමේ ඒ යාය ඇළ පාරේ පිහිටි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉකුත් 4 වැනිදා සවස බෝධි පූජා පින්කමක් පැවැත්වුණි.

පහ වසර ශිෂ්‍යත්වය සඳහා සහභාගි වන ළමුන් 134 දෙනකු ඊට එක් විය. බෝධි පූජා පින්කම අතරතුර බෝගස මුදුනේ බඹරයක් ඇවිස්සී ළමුන්ට බඹරු ඇනීම නිසා ළමුන් අසූහතර දෙනකු පමණ රෝහල්ගත කරනු ලැබිණි.

එම ළමුන්ට වහාම ප්‍රතිකාර ලබාදීමට පදවිය රෝහ‍ලේ කාර්ය මණ්ඩලය පියවර ගත්හ.
ළමුන්ට අමතරව දෙමාපියන් පනස් දෙනකුටද බඹර ප්‍රහාරය එල්ල වී තිබුණි.

ළමුන් කිහිප දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තද පසු දින පැවැති ශිෂ්‍යත්ව විභාගයට ඔවුහු සහභාගි වූහ.
මෙම සිද්ධීන්වලින් යමක් සමාජයට දෙනු ලබයි. ඒ අප දරු දැරියන් ඉතා ශක්තිමත් මානසිකත්වයකින් යුතු දරු දැරියන් වන බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමුන් තුන් ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසි හයදෙනකු සහභාගි වූහ.
මේ පිරිසෙන් ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ට මාසිකව රුපියල් 500ක දීමනාවක් ලැබෙන අතර ජනප්‍රිය පාසලක් හෝ ජාතික පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වෙයි.

ආර්ථික අපහසුකමින් යුත් පවුල්වල් ළමුන්ට උසස් අධ්‍යාපන ගමනක් ආරම්භ කිරීම සඳහා ඉවහල් වන ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ මොන අන්දමින් ක්‍රියාත්මක විය යුතුද යන්න සිතා බැලීම ඔබ සතු වගකීමක් බව අපි පසක් කරන්නෙමු.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

Untitled-5