මෙවර අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සමාජය ඇසුරින් ලැබූ ඥානය, විමසුම් නුවණින් ලබා ගත් ඥානය එකතු කර මහජනයාගේ හිත සුව පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කර තිබේ. ශ්‍රී මුඛ පාලි ලෙසයි මේ සද්ධර්මය හැඳින්වෙන්නේ. මීට අමතරව බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ඇතැම් රහතන් වහන්සේලා විසින් දේශනා කළ සූත්‍රධර්මත් තිබෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී මුඛ පාලි සද්ධර්මයත්, රහතන් වහන්සේලා දේශනා කළ සූත්‍ර ධර්මත් පිරිත් ලෙස හඳුන්වනවා. රහතන් වහන්සේලා දේශනා කළ සූත්‍රධර්ම බුදුරජාණන් වහන්සේට පැහැදිලි කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නම් ඒ දේශනාද බුද්ධ දේශනා ලෙස සලකනවා.
ජලනන්දන පිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිරිතක් නෙවෙයි. රහතන් වහන්සේලා දේශනා කළ පිරිතක්ද නෙවෙයි. පසු කාලීනව ශාසනික භාරධාරී හිමිවරුන් සකස් කළ සූත්‍රයක්. පසු කාලීන භික්ෂූන් වහන්සේලා ජලනන්දන පිරිත සකස් කර තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලටත්, මහ රහතන් වහන්සේගේ දේශනාවලටත් අනුගතවයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ රහතන් වහන්සේ නමක නොවූ ආනන්ද තෙරුන්ට වූ සිද්ධියක් අරමුණු කර ගෙන ජලනන්දන පිරිත සකස් වෙන්නේ පසුකාලීනවයි.

ජලනන්දන පිරිතේ තිබෙන්නේ බුදු ගුණ දහම් ගුණ හා සඟ ගුණ එක්කර සකස් කෙරුණු බන්ධනයක්. ඒ බන්ධනයේ අදහස වන්නේ නරක සිතුවිලි, නපුරු සිතුවිලි, නරක වචන, නපුරු වචන, නරක ක්‍රියා, වැනි දේවලින් පුද්ගලයා ආරක්ෂා කර පුද්ගලයාට යහපත ශාන්තිය උදාකර දීමයි.

මනුෂ්‍යයන් ආරක්ෂා වන ක්‍රමවේද දෙකයි. අවි ආයුධවලින් ආරක්ෂාවීම පළමුවැන්නයි. දෙවැන්න ඇස්වහ, කටවහ, හෝ වහා හා යන්ත්‍ර මන්ත්‍ර අණ වින කොඩිවින ආදියෙන්ද ආරක්ෂා වීමයි. ඇස්වහ, කටවහ හෝ වහ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් ආරක්ෂා වීමට යොදා ගත හැකි එක් සූත්‍ර ධර්මයක් ජලනන්දන පිරිත. කිසියම් නිවසක ජලනන්දන පිරිත සජ්ඣායනා කරන්නේ නම් ඒ නිවසට ඉඩමට නිවැසියන්ට ඇති ඇස්වහ, කට වහ, හෝවහ යන්ත්‍රමන්ත්‍ර ආදියෙන් වන වධ බන්ධන කැපෙනවා. නිවසකට කිසියම් ආරක්ෂාවක් කර ඇත්නම් ඒවා කැපෙන්නේ නැහැ. අපේ මිනිස්සු මේ ධර්මය වරදවා අදහස් දක්වනවා. ජලනන්දන පිරිතේ අරමුණ මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි. ආරක්ෂාව ලබා දෙන පිරිතෙන් විනාශයක් වෙනවායි කියන්නේ කොහොමද? මොන ධර්මයක් අනුවද එවැන්නක් කියන්නේ. කිසිවෙක් එහෙම කියනවා නම් ඒ නොදන්නාකම හෝ මිනිස්සු නොමග යැවීම මගින් ආදායම් මාර්ග සකස් කර ගැනීම නිසයි. මේ ආකාරයෙන් මිනිසුන්ගේ ඔළු අවුල් කර ආදායම් ලබා ගන්නා අය සෑම ක්ෂේත්‍රයකම දක්නට ලැබෙනවා.

මේ නිසා ඇත්ත කුමක්ද යන්න ධර්මයට අනුගතව හැඳින ගැනීම අවශ්‍යයි. ඒ ඒ අයට සාපේක්ෂව නිවැරැද්ද බැලීම වෙනුවට ධර්මයට අනුව නිවැරැද්ද බැලීමයි සුදුසු. බුදුරජාණන් වහන්සේ සමාජ හිතකාමීව මහජන හිතකාමීව දේශනා කළ නිවැරදි ධර්මය හඳුනාගැනීමයි අවශ්‍ය. ඒ අනුව ජලනන්දන පිරිත උදේ හවස නිවසේ සජ්ඣායනා කිරීමෙන් ශාන්තියක් අත් වෙනවා මිස කිසිදු වරදක් නොවේ. එයින් ශාන්තියක් අත්කර ගැනීමට නම් නිවැසියන් ඒ පිළිබඳ ගෞරවයෙන් භක්තියෙන් කටයුතු කළ යුතුයි. කිසිදු කළමණාකරණයකින් තොරව දිනපතා මස් මාළු කපන අපවිත්‍ර මානසිකත්වයෙන් ජීවත් වන, නිවසටම මත් ද්‍රව්‍ය ගෙනත් බොන මිනිසුන් සිටින නිවසක් ඇතුළේ ජලනන්දන පිරිත දේශනා කිරීමෙන් සෙතක් ලබා ගන්න බැහැ. පිරිත් කියනවා වගේම නිවැසියෝත් කළමනාකරණය විය යුතුයි. කාල කළමනාකරයෙන් තොර නිවසක දෙමව්පියෝ සාර්ථක දෙමව්පියන් වෙන්නේ නැහැ. දරුවන්ට කාල සටහනක් නැත්නම් ඒ දරුවෝ සාර්ථක වෙන්නේ නැහැ. කිසියම් සාර්ථකත්වයකට පත්වීමේ බලාපොරොත්තුවෙන් නිවසේ ජලනන්දන පිරිත දේශනා කරනවා නම් එයින් ආශීර්වාදයක් අත් වෙනවා. බෞද්ධ ආගමට අනුගතව සකස් කෙරුණු ධර්මයෙන් කිසිදු ආකාරයකින් මහජනයාට හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙනවා නම් ඒවා පිරිත් වෙන්න බැහැ. යම් යම් අය දැනුම් තේරුම් වැටහීමක් නැතිව බිස්නස් කරන ස්වභාවයක් තියෙනවා. අපේ රටත් ඉන්දියාව මෙන් විශ්වාසවලට මුල් තැන දෙන රටක්. ජලනන්දන පිරිත වඩාත් නිවැරදි උච්චාරණයෙන් නිවසක සජ්ඣායනා කිරීම හොඳයි. බුදු දහමට අනුව එය ස්ථිරයි. වචන කිහිපයක් වැරදුණා කියා වස් වැදීමක් වෙන්නෙත් නැහැ.