ඒශාන් මොකද හිටිගමන් ඔච්චරටම කේන්ති ගන්නෙ. ළඟදී ඉඳන් හොස්ස ළඟින් මැස්ස යන්න බැහැනෙ. බිරිඳත් එක්ක ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ.
විශ්ව එසේ කියද්දී සුරංජිත් සමච්ච‍ලේට වාගේ සිනාසුනාය. ඒශාන් මොකුත් නොකියාම කේන්තියෙන් බලා සිටියේ ගැඹුරු සුසුමක් වා තලයට එක්කරමිනි. ඔහු තම කාර්යාලයේ ඉතා කඩිසර හා කාටත් ප්‍රියමනාපව ක්‍රියා කළ අයෙකි. එහෙත් ළඟකදී සිට සම්පූර්ණයෙන් වෙනස්් ගති ලක්ෂණ දකින්නට වීම හිතවතුන්ට අදහා ගත නොහැකි කරුණක් විය.

මේ අතර ඒශාන් නිතර නිතර රෝගී වෙන්නට විය. රාජකාරී කටයුතු හරිහැටි කර ගැන්මට ද නොහැකි විය. අමතක වීම රැකියාවට ප්‍රබල ලෙස බලපෑවේය. ආහාර ගත් විගස නිතර නිතර වැසිකිලි යාමට අවශ්‍ය විය. බඩේ දැවිල්ල, හිසරදය, ආහාර අරුචිය හා නිතරම වාගේ නිදිකිරා වැටීම වැනි රෝග ලක්ෂණ පහළවන්නට විය.

ඒශාන් සහ ඔහුගේ බිරිඳ ඉතා පී්‍රතිමත් යුගදිවියක් ගත කරන බව හැමෝම දැන සිටියහ. එවැනි අයකුට එකවර මේ වාගේ ගැටලුවක් ඇතිවීම කාර්යාලයේ හැමෝටම පුදුමය දනවන්න විය.
ඒශාන්ගේ පැවති ගුණයහපත් බව නිසා ඒශාන්ගේ තත්ත්වය හිතවතුන්ට වේදනාකාරී අත්දැකීමක් විය. සැවොම ඒ පිළිබඳව උනන්දුවෙන් කතාබස් කළහ.
මේ අතර ඔහුගේ කායික රෝගවලට ප්‍රතිකාර පතා හිතවතුන්ගේ මාර්ගයෙන් සොයාගත් දිවයිනේ සුප්‍රකට වෛද්‍යවරුන් ගණනාවක්ම හමුවිය. එයින් ද ප්‍රතිඵලයක් නොලැබූ විට ඒෂාන්ගේ බිරිඳ අයන්තිකා දිනපතාම වාගේ බෝධි පූජා පැවැත්වූවාය.

පවු‍ලේ සැවොම එකතුවී තොයිල් පයිල් කරන්නට විය. ඒවායින්ද ගැටලු විසඳෙන පාටක් පෙනෙන්නට නොවීය. ඒශාන්ට ඇත්තේ මානසික ගැටලුවක්දැයි සිතීමට අයන්තිකා පෙළඹුණේ මේ කවර ආකාරයකින්වත් පිළිසරණක් නොලැබුණු තැනය. ඔහුව මානසික වෛද්‍යවරයකු වෙත රැගෙන යන්නේ අසන්තිකාගේ මවගේ උපදෙස් මතය.
ඔහු ගැඹුරු මෝහනයට පත්කරමින් ඔහුගේ යටි සිත අවදි කළේය. අසන්තිකාට අදහාගත නොහැකි වදන් පෙළක් ඔහුගේ මුවින් පිටවිය. “ඔය ගෑනි මැරිලවත් යන්නෙ නැහැනෙ” හදිසි අනතුරකින් හරි ඇගේ මුහුණ අවලස්සන වෙනවා නම් මම කොච්චර සතුටුද? අද නම් ඔය ගෑනිට ගෙදර එන්න ලැබෙන්න එපා… ඔහු කියාගෙන ගියේ දැඩි කේන්තියකිනි.
වසරකට අදික කාලයක් එක වහලක් යට සිටි ඒෂාන් මෙවැනි උස් හ¾ඩින් කතා කරනවා අයන්තිකා කිසි දිනක දැක තිබුණේ නැත. මෙසේ අයන්තිකාට බැණවැදීමට හේතු සොයා බැලීමේ දී හෙළිවූයේ අපූරු කරුණකි.

ඒශාන් අයන්තිකා සමග විවාහවූයේ යෝජනාවකින්. ඔහු කාර්යාලයට මාරුවී පැමිණි පසු සහෝදර සේවක සේවිකාවෝ එක්වී මේ දෙදෙනා ආදරවන්තයන් කිරීමට විවිධ උපක්‍රම යෙදූහ. අවසානයේ ඔවුන්ගේ උත්සාහය මල්පල ගැන්විණි. ඒශාන් අයන්තිකා සමග අතිනත ගැනීමට එකඟ විය. විවාහ උත්සවය සැවොම එකතු වී ඉතා ජයට ගත්තේය.
මේ අතර කාලයාගේ ඇවෑමෙන් අයන්තිකා තමා සමග විවාහ වීමට පෙර අමිල නම් තරුණයකු සමග ටික කාලයක් පෙමින් බැඳී සිට ඇති බව දැන ගන්නට විය. අමිල මේ දෙපළ විවාහ වීමට ප්‍රථම වෙනත් තරුණියක සමඟ අතිනත ගෙන තිබුණි.

අයන්තිකා හා අමිල අතර පැවැති ප්‍රේම සබඳතාව බිඳවැටුණත් ඔවුන් ඉතා හොඳ මිතුරන් ලෙස ආශ්‍රය කළහ. එහෙත් කිසිදු අවස්ථාවක අනියම් සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ නොකළේය.
ඒශාන් සහ අයන්තිකා අතර පැවතුණේ ඉතා මිහිරි ප්‍රේමණීය සබඳතාවකි. මේ දෙපළ සතුටෙන් පවුල්කනවා දැකීමට අකමැති වූ ඊර්ෂාකාර මිත්‍රයෙකු අමිල සහ අයන්තිකා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට නිතර නිතර දුරකථන ඇමතුම් ලැබිම නිසා ඒශාන් සිටියේ මහත් සිත් වේදනාවෙනි.

ඔහු මේ පිළිබඳව අයන්තිකා සමග එකදු වචනයක්වත් කතාකළේ නැත. ඇය අමිල සමග කතාබස් කරන විට ඒශාන්ගේ හදවත වේදනාවෙන් ගැහෙන්න පටන් ගනී. මේ හේතුව නිසා ඔහු මත්පැන් බිමට ද ඇබ්බැහි විය.
වෛද්‍යවරයා ඔහුගේ බිරිඳ කෙරෙහි යටි සිතේ තිබුණු වැරදි සිතුවිල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කළේය. අනවශ්‍ය සැක සංකා සිතුවිලි තමාගේ සියලු මනෝ කායික රෝගවලට බලපා ඇති බව පහදා දුන්නේය.
මෙහිදී සියලු මනෝකායික රෝගද සුව අතට පත්වෙමින් ගුණයහපත් ස්වාමිපුරුෂයකු ලෙස මෝහන නිද්‍රාවෙන් අවදි විය.

ගුණසේකර මුදලිගේ
බස්නාහිර පළාත් මෝහන
විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති,
මනෝ වෛද්‍ය උපදේශක