අගෝස්තු 11 වැනිදා සවස 3.17ට කටක රාශියේදී සූර්යග්‍රහණයක් සිදුවේ. සූර්යග්‍රහණය සිදුවන්නේ සූර්යයාත් චන්ද්‍රයාත් පෘථිවියත් එක කෙළින් පිහිටීම නිසයි.

අමාවක ‍පොහොය දිනයක මෙම සූර්යග්‍රහණය සිදුවන අතර ජල රාශියක් වූ කටක රාශියේ සූර්යග්‍රහණය සිදුවීම තදබල අහිතකර ප්‍රතිඵල ගෙන දේ.

ප්‍රභූවරුන්ට තදබල අපල පීඩා මෙන්ම බලා‍පොරොත්තු නොවූ ක්ෂණික විපත් ගෙන දේ. භයානක රෝග පීඩා තත්ත්වයන්, කඳුකර ප්‍රදේශයක නායයාම් ආදියද සිදුවිය හැක.
මෙම සූර්යග්‍රහණය සිදුවන විට විශ්ව කේන්ද්‍රයේ යුරේනස් ලග්නගතව වක්‍ර ගමනින්ද සිකුරු නීචව 6 වැන්නේද රවි, සඳු, කුජ හා රාහු 4 වැන්නේද ගමන් කිරීම නිසාවෙන් අම්ල වැසි, අයිස් වර්ෂා මෙන්ම ගුවන් යානා අනතුරු ආදී විපත්ද ඇති විය හැක.

‍ජ්‍යොතිෂවේදී නිශාන්ත පෙරේරා


රවි ග්‍රහයා 2018 වසරෙහි අගෝස්තු 17 වැනිදා පෙ.ව. 6.50ට සිංහ රාශියට පිවිසෙන අතර සැප්තැම්බර් 17 වැනිදා පෙ.ව. 6.47 වන තෙක් තම සිංහ රාශිය චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව කුමන හෝ වසරක අගෝස්තු 17 වැනිදාත් සැප්තැම්බර් 17 වැනිදාත් අතර කාලය තුළ ඉපදුණු අයට 2018 වසරෙහි අගෝස්තු 17 වැනිදාත් සැප්තැම්බර් 17 වැනිදාත් අතර කාලය තුළ සාර්ථකතා සහ ජයග්‍රහණ පෙන්නුම් කෙරේ.

දැනට සිකුරු ග්‍රහයා කන්‍යා රාශිය තුළ නීච චලිතයක යෙදෙයි. මෙසේ කලාව ගැන පවසන සිකුරු ග්‍රහයා නීච චලිතයක යෙදෙද්දී කලාව ගැන පවසන තවත් ග්‍රහයකු වන චන්ද්‍ර ග්‍රහයාද 2018 වසරෙහි අගෝස්තු 18 වැනිදා පෙ.ව. 11.04ත් අගෝස්තු 20 වැනිදා රාත්‍රී 9.47ත් අතර කාලය තුළ නීච චලිතයක යෙදෙයි. මෙම ග්‍රහ චලිතවලට අනුව 2018 වසරෙහි අගෝස්තු 18 වැනිදා පෙ.ව. 11.04ත් අගෝස්තු 20 වැනිදා රාත්‍රී 9.47ත් අතර කාලය තුළ ප්‍රසිද්ධ කලාකරුවන්ට සහ ප්‍රසිද්ධ කාන්තාවන්ට විශේෂ අපලදායක තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

මෙම වසරේ සිදු වූ 3 වන සූර්යග්‍රහණය ලෙස අගෝස්තු 11 වන දින මධ්‍යය එදින ප.ව. 3.17 වන සේ කටක රාශිය තුළ අස්ලිස නැකතේ 3 වන පාදයෙන් සිදු වූ සූර්යග්‍රහණය හැඳින්විය හැකිය. මෙම සූර්යග්‍රහණයට අනුව ඉදිරි දින කිහිපය තුළ විදෙස් රටවල් සමග ගිවිසුම් ආදිය අත්සන් කිරීමට ඉඩකඩ ඇති අතර අලුත් අණපනත් සම්මතවීම, අලුත් අණපනත් ගෙන ඒම ආදියටද ඉඩකඩ ඇත. එමෙන්ම මෙම සූර්යග්‍රහණයට අනුව ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධන ආදියටද ඉඩකඩ ඇති අතර මෙම ග්‍රහණය සිදු වන්නේ ජල රාශියක් වන කටක රාශිය තුළ නිසා ඉදිරි දින කිහිපය තුළ මහ සයුරේ ප්‍රබල භූ කම්පන වර්ධනය වීමටද ඉඩකඩ ඇත.

‍ජ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස