මහත් ආන්දෝලනයට තුඩුදුන් යාපනයේ පදිංචිව සිටි විද්‍යා නමැති පාසල් සිසුවිය සමූහ දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 7 දෙනා ගොනු කළ අභියාචනා පෙත්සම ලබන දෙසැම්බර් 13 දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

2015 අපේ‍්‍රල් 4 වැනිදා යාපනය පුංකුඩුතිව් ප‍්‍රදේශයේදී පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය සමූහ දුෂණය කර ඝාතනය කරන ලදැයි විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව යාපනය මහාධිකරණය විසින් විත්තිකරුවන් 7 දෙනකුට මරණ දඬුවම නියම කරන ලදී.

එම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් දෙදෙනා නිදහස් කරන ලදී.

විද්‍යා ඝාතන නඩුවේ මරණ දණ්ඩනයට නියම වූ තමන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් 7 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනු කර තිබුණි.

අදාළ අභියාචනය ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සළකා බැලිණි.

ඉෂාර රත්නකාර

vidya