“කැබිනට් මණ්ඩලයේ වෙන දේවල් එළියට ඇවිත් කථා කරන කෙනෙක් නෙමෙයි මම. මම මගේ යුතුකම ඉටු කළා. නමුත් කැබිනට්  මණ්ඩලය විසින් මම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළා. ඒ ගැන මගේ කණගාටුවක් නැහැ. ගම්වලින් එන දක්ෂ ක්‍රීඩකයන්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් මේ රටේ තිබිය යුතුයි” ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

වත්මන් ක්‍රීඩා පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය පමණක් නොව සමස්ත ක්‍රීඩවම ඉදිරියේදී කඩා වැටෙනු ඇතැයි ඔහු පැවසුවේ අස්ගිරි-මල්වතු මහනායක හිමිවරු බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  

එහිදී මාධ්‍යවේදීන් අර්ජුන රණතුංග මහතාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ මාධ්‍ය වාර්තා කළ පරිදි ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෙල් සංස්ථාවේ රැකියා ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වීද යන්නයි.  

එය එසේ වූ බව තහවුරු කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා තම යුතුකම ඉෂ්ට කිරීමට කටයුතු කළ බවයි.

මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබාදීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පදනම් කර ගනිමින් සිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.