ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 90 දශකයේ මුල් කාලයේදී ආරක්ෂාව සැපයූ විශ්වාසවන්ත පිතිකරුවන් සිටියේ අතලොස්සකි. එකල ටෙස්ට් ක්‍රිකට් තරගයකදී හෝ එක්දින ක්‍රිකට් තරගයකදී හෝ වේවා බොහෝවිට ශ්‍රී ලංකා පි‍ලේ ගෞරවය ආරක්ෂා වූයේ අර්ජුන-අරවින්ද යන පිතිකරුවන් දෙපළගෙනි.

එම නිසාම එකල ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා පිල සහභාගි වන තරග නැරඹීමට පුරුදුව සිටියේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා හෝ ඉන් එක් අයකු හෝ ලකුණු රැස් කිරීමේ නියැළී සිටියදීය. ශ්‍රී ලංකාව 1996 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ශූරතාව දිනාගන්නා විටත් තණතිල්ල මත රැඳී සිටියේද අර්ජුන හා අරවින්දය.

දැන් මේ දෙදෙනාම තම තමන්ගේ හපන්කම් අතීතයේ ගබඩා කොට විශ්‍රාම ගොසිනි. එතැන් සිට මේ දක්වා වූ කාලය තුළ අර්ජුන රණතුංග නම් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව නිතර නිතර අදහස් දක්වා ඇතත් අරවින්ද ද සිල්වා නම් අනුගමනය කර තිබුණේ නිහඬ ප්‍රතිපත්තියකි. කෙසේ වුවත් ඔහුගේ එම  නිහඬ බවට බාධා කරන්නට සමත්වූ අප ‘රිවිර’ ඉරිදා සංග්‍රහය වෙනුවෙන් වසර 5කට පසුව අරවින්ද ද සිල්වාගේ හඬ සම්මුඛ සාකාච්ඡාවකින් අවදි කරන්නට සමත් වීමු.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටිලා තිබෙනවා. ඔබ එය පිළිගන්නවාද? මොනවද යෙදිය යුතු පිළියම්?

ඔව්, එහෙම තත්ත්වයක් තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණු කරලා පෙර තිබූ තත්ත්වයට ගොඩනගන්න නම් දීර්ඝකාලීන සැලැස්මක් තිබිය යුතුයි කියන එකයි මම යෝජනා කරන්නේ. අඩුම තරමේ අවුරුදු තුනක්වත් සැලසුම් කරන්න ඕන ඉදිරියට. දවසේ දෙකේ, සතියේ දෙකේ සැලසුම් ක්‍රියාත්මක කළහොත් ක්‍රිකට් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න අපහසුයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ සුපුරුදු දක්ෂතා අතර නැහැ. විශේෂයෙන් ලංකාවේ ක්‍රීඩා කරද්දී ඇයි මෙහෙම වෙන්නේ?

ඇත්තටම අපේ පිතිකරණය හොඳ මට්ටමකට ගෙන එන්න ඕන. මොකද මේ වනවිට පිතිකරණය හොඳ මට්ටමක නැහැ. මීළඟ ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ. අප ඒ සඳහා සූදානම් විය යුතුයි. එහි තත්ත්වයන්ට මුහුණදීම ගැන දැන්ම ඉඳලා සැලසුම් සකස් කළ යුතුයි. දැනට පැවැත්වෙන තරග අද හෙට වෙන දෙයක්. ඒක එක් සංචාරයක් පමණයි. ඒ නිසා අප අනාගතය ඉදිරිය සැලසුම් කළ යුතුයි. වැදගත්ම දේ ලෝක කුසලානයට ක්‍රීඩකයන් සූදානම් කළ යුතුයි.

1996 ලෝක කුසලානය ඔබ නියෝජනය කළ කණ්ඩායම රැගෙන ආවා. මේ තත්ත්වයට ඔබලා තම කණ්ඩායම රැගෙන ගිය ආකාරය යළි සිහිපත් කළොත්?

ඇත්තටම අපි දවසකින් දෙකකින් ‍නෙවෙයි මේ ජයග්‍රහණයට පැමිණියේ. අපි කණ්ඩායමක් හැටියට එකට හිටියා. තීරණ ගත්තා. කණ්ඩායම තුළ සිටි ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් වෙන වෙනම හඳුනා ගත්තා. නායකත්වයට ගරු කළා. එම තීරණ සාකච්ඡා කරලා ගත්තා. එකිනෙකා හොඳින් අවබෝධ කරගෙන හිටියේ. ඒ නිසා ජයග්‍රහණය කරා අපි ගියා.  එක් අවස්ථාවකදී කළුවිතාරණ, සනත් ජයසූරිය උඩින් ගස්සලා බැලුවා. ඒක අති සාර්ථක වුණා. මෙවැනි අත්හදා බැලීම් රැසක් සිදු කළා.

ඔබ 1996 අවසන් මහා තරගයේදී මුලින් බැට් කරන්නම ඕන කිව්වා නේද?

ඔව්, ඒත් අර්ජුන රණතුංග හිටියෙ පළමුව පන්දු යවන තීරණයෙ. ඒ නිසා අපි ඔහුට අවනත වෙලා පස්සේ බැට් කළා. අන්තිමට මම ශතකයකුත් ගහල ලෝක ශූරතාව දිනා ගන්න අර්ජුනට උපකාර කළා. කණ්ඩායමට ශතකයක් රැස් කරන්න පුළුවන් වුණා. අපි ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

තරුණ ජාතික ක්‍රීඩකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම හරි දේ කරන්න. තමන් කරන දේ හරියට කළොත් කවදාකවත් වරදින්නේ නැහැ. තමන්ගේ හැකියාවන් දියුණු කරන්න, වැඩ කරන්න.

අපි ක්‍රීඩා කරන කා‍ලේ අපට තරගයකට ලැබුණේ රුපියල් 200-250 වගේ මුදලක්. අද ඒ තත්ත්වය වෙනස්. ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොකු මුදලක් ලැබෙනවා. ඒ ගැන මම හරිම සතුටු වෙනවා. අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළ නිසා අද ක්‍රිකට්වලට මේ තත්ත්වය තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාකිස්ථානයේ අගමැති බවට පත්වුණා. ඒ පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඉම්රාන් ඛාන්. ඔබ මේ ගැන කොහොමද දකින්නේ?

ඇත්තටම එය සිදුවිය යුතු දෙයක්. ඔහු හොඳ නායකයෙක්. ඔහු අපටත් අවවාද කර තිබෙනවා, උපදෙස් ලබාදී තිබෙනවා. ඔහු නිහතමානී නායකයෙක්, පුද්ගලයෙක් වශයෙන් හරිම හොඳයි.

අපි 1996 ලෝක කුසලානයේ අවසන් තරගයට පැමිණි අවස්ථාවේ තරගයට පෙර අප කණ්ඩායමට උපදෙස් රැසක් ලබාදුන්නා. ජයග්‍රහණය ලබාගත හැකි බව පෙන්වා දී අපේ මනසට ලොකු ශක්තියක් ලබාදුන්නා.

ඔබ අවසන් වරට ඉම්රාන් ඛාන් හමුවුණේ කවදාද?

ඇත්තටම ඔහු හමුවුණේ ගොඩක් කලකට ඉහතදී. ඒ ඔහුගේ වියදමින් පාකිස්ථානයේ ඉදිකළ පිළිකා රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට එන්න කියලා ආරාධනා කළා, ඒ අවස්ථාවේදියි.

ලංකාවේ ක්‍රිකට් ගැන මට වැදගත් යමක් කියන්න ඕන. ලෝකයේ බොහෝ පිරිසක් අපිව දන්නේ ක්‍රිකට් නිසා. ඒ කියන්නේ ක්‍රිකට් අපේ අනන්‍යතාවක්.

වැටිලා තිබෙන ක්‍රිකට් අපි එකතුවෙලා ගොඩ ගමු. මේ සඳහා ක්‍රිකට්වලට සම්බන්ධ සියලු දෙනාට අත්වැල් බැඳගන්න කියලා මා ඉල්ලීමක් කරනවා.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්