ශ්‍රී ලංකා  මෝටර් රථ හා යතුරුපැදි  ධාවකයින්ගේ සංගමය පසුගියදා මීරිගමදී පවත්වන ලද සර්කිට් මීට් මෝටර්රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේදි 250 සී.සී. සුපර් මෝටඩ් යතුරු පැදි ධාවන ඉසව්ව 20 හැවිරිදි වියේ පසුවන දුෂාන් මුදලිගේ ජය ගැනීමට  සමත්ව තිබුණේ එම ඉසව්වෙන් ශූරවීර කම් පා තිබූ ප්‍රවීණයින් සියලු දනාම අබිබවා යමිනි.
තමන්ගේ ආසන්නම ප්‍රතිවාදියා වූ සචිර රාජකරුණාට වඩා මීටර් 500ක් පමණ ඉදිරියෙන් සිටිමින් තරගය නිම කිරීමට දුෂාන් සමත්වීම කැපී පෙනුණි.

තවද මීට පෙර බල පරාක්‍රමය හිමිකරගෙන සිටි සංගීත් සූරියගේ හා චමින්ද ද සිල්වා  යන ධාවකයින් මේ තරගයේදී තමන් පසුකර ඉදිරියට  ඇදුණු දුෂාන්ගේ වේගය කිසිසේත්ම විශ්වාස කළේ නැත.

එම නිසා මෙම පළපුරුදු ධාවකයින්ට තමන්ගේ හැකියාවන් පිළිබඳව සුළුවෙන් හෝ ලැජ්ජාවක් ඇති නොවුණේ යයි සිතිය නොහැකිය. එසේම ඔවුන් හැම කෙනකුටම ඒ මොහොතේ දුෂාන්ගේ වේගය පිළිබඳව ඇතිව තිබුණේ  කුතුහලයකි.

මේ නිසා තරගය අවසන් වීමත් සමග දුෂාන්ගේ යතුරුපැදියට අධි බලයක් ලබා ගැනීමේ අරමුණට අමතර උපාංග එක්කර ඇති බවට සැක මතු වන බව පවසමින් එම තරගයේ 6වැනි ස්ථානයට පත් වූ චමින්ද ද සිල්වා සංවිධායකයින් වෙත විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබිය.

නැවත නොගෙවන රුපියල් 25000ක මුදලක් ගෙවා මෙම විරෝධතාව ඉදිරිපත් කිරීමත් සමග තරග ප්‍රතිඵලය  ප්‍රකාශයට පත්කිරීම අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගත්තේය.

ඒ සමගම දුෂාන්ගේ යතුරුපැදියට මුද්‍රා තබා තමන්ගේ භාරයට ගැනීමට සංවිධායකයින් කටයුතු කර තිබිණි.
ඒ අනුව පසුගිය දිනක එම යතුරුපැදිය පළමු පරීක්ෂාවට ලක් කිරීම කොළඹ ලාල් ඇන්ඩ් නිහාල් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා මෙන්ම අධ්‍යක්ෂවරයාද  වන සජිත් පෙරේරා  මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලැබිය.

මෙම අවස්ථාවට චෝදනාවට ලක් වූ පාර්ශ්වය චූදිත පාර්ශ්වය හා සංගමයේ නිලධාරීන්ද සහභාගි වී සිටි අතර යතුරුපැදියේ මුද්‍රා ඉවත් කොට පරීක්ෂණ පැවැත්වීම ඔවුන් ඉදිරියේ සිදු කෙරුණි.

පරීක්ෂණය  කරන අතරේ කාර්මිකයින් ලබාගත් මිණුම් සටහන් කර ගනිද්දී අදාළ පැමිණිල්ල කළ තැනැත්තාටත් වඩා  මෙම අවස්ථාවට සහභාගි වී සිටි වෙනත් ධාවකයකු නොසතුටෙන් සිටිනු දක්නට ලැබිණ.

ඔහු පරීක්ෂණ සිදුකළ ක්‍රමවේදය වැරදි බවට තර්ජනය කිරීමට උත්සාහ කළ ද ඉංජිනේරුවන් විසින් ඔහුගේ තර්ක බිඳ දමන අයුරුද දැකගත හැකිවිය.

පසුගිය ජූලි 26 වැනි දින අදාළ පරීක්ෂණය සිදුකළ නමුත් පරීක්ෂණ ප්‍රතිඵල ලිඛිතව ලබා දෙන තුරු වාචිකව ප්‍රකාශ නොකරන ලෙස පැමිණිලිකරු සංගමයෙන් කළ ඉල්ලීම නිසා එදින ප්‍රතිඵලය ලබාගැනීමට කිසිවකු සමත්වූයේ නැත.
කෙසේ වුවත් අදාළ ලිඛිත ප්‍රතිඵලය ද අගෝස්තු 01 දක්වා ප්‍රකාශයට පත් නොවූ බැවින් ඒ පිළිබඳව ලාල් ඇන්ඩ් නිහාල් ආයතනයෙන් කළ විමසීමේදී එම ප්‍රතිඵල තවමත් සංගමයට භාර දීමට නොහැකි වූ බව ලාල් ඇන්ඩ් නිහාල් ආයතනයේ අධ්‍යක්ෂවරයා ‘රිවිර’ට ප්‍රකාශ කළේය. එහෙත් එය පසුදින ලබා දීමට උත්සාහ කරන බවද ඔහු කියා සිටියේය.

ඇත්තෙන්ම එම යතුරු පැදියේ 250 සී.සී. ධාරිතාවට අනුකූල ප්‍රමාණය තමයි තිබුණේ අපි බෝර් එකයි ස්ටේ‍රා්ක් එකයි පරීක්ෂා කළා. වෙනසක් සිදුකර නැහැ.  යනුවෙන් ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය.

ඒ අනුව දුෂාන්ගේ විශ්මිත වේගය රැඳී තිබුණේ. දුෂාන්ගේ එඩිතර භාවය තුළ මිස සිය යතුරුපැදියේ නොවන  බව පැහැදිලිය.
මෙම තරගය පවත්වනු ලැබුවේ වසර අවසානයේ 250 සී.සී. සුපර් මෝටඩ් ඉසව්වේ ජාතික ශූරයා තෝරා  සම්මාන ප්‍රදානය කිරීම සඳහා වන පළමුවැන්න ලෙසිනි. ඒ සඳහා ප්‍රසාද ලකුණු ලබාදීමට කටුකුරුන්ද, පන්නල හා  නැවත මීරිගම වශයෙන් තවත් තරග 3ක්  ඉතිරිව ඇත.

දුෂාන් රිවිරට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉතිරි තරග සියල්ල ද ජයගෙන ජාතික ශූරතාව දිනා ගැනීම තමන්ගේ එකම අරමුණ බවය.

ඒ විතරක් නොවෙයි විදේශීය තරගවලට සහභාගිවෙලා මේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට  ජයග්‍රහණ අත්කර දෙන්නත් මම බලා‍පොරොත්තු වෙනවායයි ඔහු අවසන් වශයෙන් පැවසීය.

 සීවලී එදිරිවීර
ඡායාරූප: සජීව චින්තක කහදගමගේ