අධ්‍යාපනය යනු රටක සංවර්ධනයේ මූලික අඩිතාලමයි. අඩිතාලම බොල් වුණොත් සියල්ල කඩා වැටේ. අපේ රටේ අධ්‍යාපනයට දැන් ලබමින් තියෙන්නේ කොහොම කලදසාවක්දැයි කියා හිතාගන්නවත් බැරිය. ගුණාත්මක අධ්‍යාපනයක් බිහි වන්නට ප‍්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැත. අධ්‍යාපනය යනු විනය, ගරුත්වය සහ ආචාරශීලීභාවයත් සමග බද්ධ වූවකි. මෑත කාලයේ අසන්නට දකින්නට ලැබූ සිදුවීම් ගණනාවකින් අධ්‍යාපනයේ  විනය, ගරුත්වය සහ ආචාරශීලීභාවය දිය වී ගොස් ඇති ආකාරය හොඳටම පෙනෙන්නට තිබුණි.

අතීතයේ ගුරුවරයාට තිබුණේ මහත් වූ වෘත්තීය ගෞරවයකි. ගුරුවරයා කිසි විටෙකත් දේශපාලන අතකොලූවක් වූයේ නැත. ගමේ නගරයේ, කඩපිලේදී පැරණි ගුරුවරයකු හමුවුවත් දණ ගසා වඳින සංස්කෘතියක් නිර්මාණය වූයේ එකී ගෞරවය නිසාය.  එදා තිබූ ගුරු ගෞරවය  අද ඒ  ආකාරයෙන්ම තිබෙනවාද යන්න ගැටලූවකි. ගුරුවරයා වෘත්තිය අමතක කරවා මහපාරේ උද්ඝෝෂණය කරන තැනට ඇද දැමුවා නම් ඊට වගකිවයුත්තේ මේ රටේ දේශපාලනයයි. ගුරුවරුන්ගේ අයිතීන් උල්ලංඝනය වීම ආණ්ඩුවක් අතින් සිද්ධවුවහොත් එහි වාසිය ගන්නට බලන් ඉන්නේද  තවත් දේශපාලන ව්‍යාපාරයකි. ඒ නිසා දැන් ගුරු වෘත්තිය දේශපාලනීකරණය වී අවසානය. දැන් ඉතුරුව ඇත්තේ අධ්‍යාපනයට හානි නොවන ලෙස අයිතිවාසිකම් දිනා ගැනීමයි.

දේශපාලන පළිගැනීම් සහ දේශපාලන පත්වීම් සම්බන්ධව පසුගියදා ගුරුවරුන් කළ විරෝධයට ජනපති සමග පැවැත්වූ සාකච්ජාවෙන් පසුව විසඳුම් ලැබුණි. මේ මොහොතේ  ජනපති මැදිහත්ව එම ගැටලූව බේරුම් කිරීම හොඳ දෙයකි. එසේ නොවුණා නම් ඇතැම් විට ලබන මාසේ පැවැත්වෙන්නට නියමිත උසස් පෙළ විභාගයද කඩාකප්පල් වීමට ඉඩ තිබුණි. සමහරු වේලාසනම බලා උන්නේ උසස් පෙළ විභාගය කොට උඩ යවන්නටය. එසේ වූවානම් ඇනහිටින්නේ සිසුන්ගේ ජීවිතයි. පසුගිය 04 වැනිදා ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ලෙසට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ  2,60,000 ක් දෙනා ලෙඩ නිවාඩු ගිය ආකාරය අපට මතකය. එදා දවසක් තුළ ලංකාවේ පාසල් සියල්ලේම කටයුතු කඩා වැටුණි. ගුරුවරු ඇතුළු අධ්‍යාපන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පොලිසිය සමග ගැටුම් හදාගත් හැටිත්, ඉස්කෝලේ ගිහින් ආපසු එන ළමුන් මාධ්‍යයට දුන්නු විසුළු ප‍්‍රකාශත් රටට පෙන්වූයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කඩාවැටීමක් මිස අන් කිසිවක් නොවේ.

අධ්‍යාපන බලධාරීන් යනු අධ්‍යාපනයේ විනය, ගරුත්වය සහ ආචාරශීලීභාවය රකින්න සිටිනා පිරිසකි. එවන් පුද්ගලයින් අතින්ම ආචාරධර්ම කඩ වන්නේ නම් මෙරට අධ්‍යාපනයේ අනාගතය දෙයියන්ටම බාරදිය යුතුය. පසුගියදා ගාල්ලෙන් අසන්නට ලැබුණු පුවතකින් මේ විනය පිරිහීමේ තරම පෙනුණි. උසස් පෙළ පාසල් සිසුන් සිය විභාග අයදුම්පත් ගන්නට පාසලට යන්නේ මහත් වූ ගෞරවයකිනි. ඔවුන් කොන්ඩ රැුවුල කපා පාසල් නිල ඇඳුම හැඳ පාසලට යන්නේ පාසලේ ඇති විනය රාමුවට යටත් වෙමිනි. එලෙස නොපැමිණෙන අයකුට නිසි අයුරෙන් පැමිණෙන්න යැයි කියා කියන්නට පාසලේ බලධාරීන්ට අයිතියක් ඇත. නමුත් පසුගියදා ගාල්ලේ ප‍්‍රධාන පාසලකට කොණ්ඩ රැුවුල වවාගෙන ආ සිසුවකුට ඇඞ්මිෂන් දීමට  නම් නිසි පරිදි හැඳ පැලඳගෙන එන්න යැයි ගුරුවරුන් අවවාද දී තිබුණි. නමුත් සුළු මොහොතකින් විදුහල්පතිවරයාට ඉහළින් ආ දුරකථන ඇමතුමක් නිසා අදාළ සිසුවාගේ ළඟටම ගොස් ඇඞ්මිෂන් දීමට ගුරුවරුන්ට සිදුවිය. පුදුමය නම් අදාළ සිසුවාගේ මව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයක් දැරීමයි.

ඇඳුම් නැතිව පැමිණියද ඇඞ්මිෂන් දිය යුතු බවට ඇය පවසා ඇති බවක්ද අසන්නට ලැබේ.   මෙහි ඇති හාස්‍යජනක කාරණාව නම් ඇය පාසල්වලට ගොස් සිසුන්ගේ විනය හදන ආකාරය පිළිබඳව ගුරුවරුන්ට දැනුමුතුකම් දෙන්නියක් වීමය. අධ්‍යාපනයේ විනය රකින්නට සූදානම්ව සිටින මෙවන් නිල බලය ඇත්තන් ඥාතිත්වය වැනි හේතු මත මෙසේ බලපෑම් සිදු කරයි නම් පාසලක විනය ගෙන යන්නේ කෙසේද යන ගැටලූව මතු වේ.

නිලධාරීන්ගේ විනය එසේ පිරිහෙද්දී ගුරුවරුන්ගේ විනය පිරිහුණු ආකාරයක් අසන්නට ලැබුණේ මොනරාගල ප‍්‍රදේශයෙනි. ඒ ගුරුවරු දෙදෙනකු එක්ව පාසල් සිසුවියක අපහරණය කිරීම සම්බන්ධයෙනි. ඉස්සර සිටි ගුරුවර ගුරුවරියන් ගුරු මවුවරු පියවරු ලෙස ඇමතුවද අද ඉන්න මේ ජාතියේ ගුරුවරුන් අමතන්න අමුතුවෙන්ම නම් හැදිය යුතුය. ගුරුවරු යනු දෙමවුපියන්ට පසුව දරුවන්ගේ වගකීම දරන්නන්ය. දෙමවුපියන් තරමටම ආදරයක්, කරුණාවක් දරුවන් ගුරුවරුන්ගෙන් ලැබිය යුතුය. එසේ නොවී දියණියන් කාමරවලට ගෙන ගොස් වීඩියෝ කර අන්තර්ජාලයට දමන ජාතියේ ගුරුවරු රටකට  ඕනෑ නැත. ඒ ජාතියේ කාමාතුරයන් යා යුත්තේ පාසලට නොව හිර ගෙදරටය. රටේ අධ්‍යාපනය බොල් නොවෙන්නට නම් මේ සෑම මට්ටමකට ඇති කුණු ඉවත් කළ යුතුය. දේශපාලන බලපෑම්වලින් අධ්‍යාපනය තොරකර  නිලධාරීන්ගේද ගුරුවරුන්ගේද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද විනය ආචාරධර්ම රකින පරිසරයක් බිහි විය යුතු කල දසාවක් දැන් පැමිණ තිබේ. එසේ නොවුණහොත් ගාල කඩාගත් හරක් රැුළකටත්  එහා ගිය ශිෂ්‍ය පරපුරක් අනාගතයේ  පාසලෙන් නික්මෙනු ඇත.