වසර 25ක් තිස්සේ එනම් 1993 වසරේ සිට අඛණ්ඩව සභාපති ධුරය හා ‍ලේකම් ධුරය අතර මාරුවෙමින් ක්‍රීඩාව විනාශයට පත්කරන ලද පරිපාලකයකුට එරෙහිව වුෂු ක්‍රීඩාවට සම්බන්ධ පුහුණුකරුවන්, ක්‍රීඩකයන් හා අනුබද්ධිත ක්‍රීඩා සංගම් නියෝජිතයන් පිරිසක් එක්ව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත චෝදනා රැසක් සහිත පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවත්, ඒ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා වහා ක්‍රියාත්මක වී පරීක්ෂණයක් පවත්වන ලද බවත් දැනගන්නට ඇත.

මෙපමණ කාලයක් තිස්සේම පත්වන සෑම ක්‍රීඩා ඇමැතිවරයකුම නොමග යවමින් තමන්ගේ බලය තහවුරු කර ගන්නට මේ නිලධාරියා සමත්ව සිටියද වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙම තැනැත්තාට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිලි අපක්ෂපාතීව විභාග කිරීමට ගන්නා ලද තීරණය වුෂු ක්‍රීඩාවට ලැදි බොහෝ දෙනකුගේ ප්‍රසාදයට පාත්‍ර වී තිබේ.

වුෂු ක්‍රීඩා සංගම් 10ක එකතුවෙන් ගොඩ නගාගෙන ඇති වුෂු සංසදය නමින් හැඳින්වෙන සංවිධානය ක්‍රීඩා ඇමැතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්‍ලේ වත්මන් වුෂු සම්මේලන සභාපතිවරයාට එරෙහිව චෝදනා 15ක් ඉදිරිපත් කර තිබිණි. නීතිවිරෝධී විධායක කමිටුවක් පවත්වාගෙන යෑම, සම්මේලන කාර්යාලය ලෙස තමන්ගේ නිවස භාවිත කිරීම, හම්බන්තොට පැවති වුෂු තරගාවලියට චීන තානාපති කාර්යාලයෙන් ලැබුණු මුදල් අවභාවිත කිරීම, බස්නාහිර පළාත් වුෂු සංගමය පිහිටුවීමට කටයුතු නොකිරීම, නිලවරණය පවත්වා මාස 4ක් ඉක්මවා ඇතත් මේ දක්වාම හිස්ව පවතින තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමට අ‍පොහොසත් වීම, තමන්ගේ බලය රැක ගැනීම සඳහා නාමික සංගම් පිහිටුවා පවත්වාගෙන යෑම, ක්‍රියාකාරී සංගම් රැසක සාමාජිකත්වය අහෝසි කිරීම, අවුරුදු 25ක් තිස්සේ පරිපාලනයට එක්ව සිටිමින් දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව පහළම ස්ථානය දක්වා ඇද දැමීම, තමන්ගේ හිතවතුන්ට සැලකීම සඳහා දක්ෂ ක්‍රීඩකයන් කපා දැමීම හා මුදල් අවභාවිත කිරීම් පිළිබඳ චෝදනා එහි අඩංගුය.

ඒ හැරුණු විට වර්තමාන වුෂු සම්මේලනයේ උප සභාපතිවරයකු වන ප්‍රදීප් කුමාර් සේනාධීර නමැත්තාද ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකින්, පසුගිය මැයි 06 වැනි දින නිකවැරටිය  බුද්ධි සමෘද්ධි හෝටලයේ පවත්වන ලද විධායක සභා රැස්වීමට 2017 නොවැම්බර් 01 වැනිදා පවත්වන ලද නිලවරණයෙන් නුසුදුස්සන් ලෙස ප්‍රතික්ෂේප වූ මහේන්ද්‍ර ඒකනායක, නිශාන්ත පතිරාජ (උප සභාපති අපේක්ෂකයන්) විජිත් ප්‍රියන්ත එදිරිසිංහ (‍ලේකම්), ආනන්ද කුමාර (උප ‍ලේකම්) හා අජන්ත බණ්ඩාර (උප තරග කමිටු ‍ලේකම්) යන පිරිසද සහභාගි වී නීතිවිරෝධී ලෙස යෝජනා සම්මත කර ගැනීමට පියවර ගෙන තිබූ බවට චෝදනා කර තිබිණි.

ඔහු එහිදී තවත් චෝදනාවක් ඉදිරිපත් කරමින් දැනට පුරප්පාඩුව පවතින උප සභාපති තනතුරු 01, ප්‍රධාන ‍ලේකම් තනතුර, උප ‍ලේකම් තනතුරු 02, උප භාණ්ඩාගාරික තනතුර, විධායක කමිටු සාමාජික තනතුරු 03, තරග කමිටු ‍ලේකම් තනතුර හා උප තරග ‍ලේකම් තනතුරු 02 යන තනතුරු 11 සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර නොගෙන සභාපතිවරයා ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවද සඳහන් කර ඇත. එසේම තමන්ට සභාපතිවරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව හඬපටයද සහිතව ක්‍රීඩා අමාත්‍යාංශයට ඔහු යොමුකරන ලද බව පැවසේ. මීට අමතරව සම්මේලනයේ සභාපතිවරයාගේ අසාධාරණ ක්‍රියාවන්ට ගොදුරු වූ පුහුණුකරුවන් හා ක්‍රීඩකයන් පිරිසක්ද ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. අදාළ පැමිණිලි ලැබිමෙන් පසු වහා ක්‍රියාත්මක වූ ක්‍රීඩා ඇමැතිවරයා මේ පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සමන් අමරසිංහ මහතාගේ සභාපතිත්වය ඇතිව සිව්පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබිය. ඒ අනුව පැමිණිලි පාර්ශ්වය ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඔවුන් ඉදිරිපත් කර තිබූ පැමිණිලිවලට අදාළ ලිපිගොනු, හඬපට මෙන්ම ලිඛිත හා වාචික සාක්ෂිද දින තුනක් තිස්සේ ලබාගත් බව වාර්තා වේ. අනතුරුව චූදිත පාර්ශ්වය ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවන ලද නමුත් ඔවුන් ඊට සහභාගි වී නොතිබිණි. මේ අනුව එම කමිටුව විසින් සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා වෙත ලබාදී ඇති බව සඳහන්ය.

මීට පෙර සිටි ක්‍රීඩා ඇමැතිවරු මෙම සභාපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනා විභාග කිරීම සඳහා කමිටු පත්කර නැති බවත්, ඒ හැම අවස්ථාවකම සිදුවුණේ දෙපාර්ශ්වය අමාත්‍යාංශයට කැඳවා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස පවසමින් සභාපතිවරයාට ආරක්ෂාව සලසාදීම බව සඳහන් කරන ඔවුන් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ අවංක හා එඩිතර ක්‍රියා කලාපය පැසසුමට ලක් කළහ.

දැන් ඔවුන් අපේක්ෂා සහගතව බලා සිටින්නේ නැවතත් වුෂු වසන්තය උදාවනු ඇතැයි අපේක්ෂා සහිතවය.

සීවලී එදිරිවීර