ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉකුත් (18) වනවිට දසවැනි ස්ථානයට පැමිණ ඇත. ඒ ගාල්ලේදී අවසන් වූ දකුණු අප්‍රිකානු-ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයෙන් අනතුරුවයි. ඔහු මෙලෙස මෙම ස්ථානයට පැමිණියේ ගාල්ලේදී නොදැවී ලකුණු 158ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ බැවිනි.

දිමුත් මෙම ස්ථානයට පැමිණීමට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 31 වැනි ස්ථානයේ පසුවිය. ගාල්ලේදී පැවති ටෙස්ට් තරගයේ දැක්වූ දක්ෂතා අනුව දෙවැනි ඉනිමේද නොදැවී ලකුණු 60ක් ලබාගැනීම හේතුවෙන් ස්ථාන 21ක් ඉදිරියට ඒමට දිමුත්ට හැකි විය.

ප්‍රසාද ලකුණු 740ක් ලබාගෙන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයේ රැඳී සිටින නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පමණක් කලක සිට මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටියේය.

මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයකු වන ස්ටීවන් ස්මිත්ය. එහි දෙවැනි ස්ථානය ඉන්දියානු ජාතික ප්‍රබල පිතිකරුවකු වන විරාත් කෝලිට හිමිව තිබේ.

මතෛක් ටෙස්ට් තරග පනහකට ක්‍රීඩා කර ඇති දිමුත් ඉනිම් 97කදී ලකුණු 3404ක් රැස් කරගෙන ඇත. මෙහිදී ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය වශයෙන් ලකුණු 196ක දැවැන්ත ඉනිමකට හිමිකම් කියන දිමුත් සිය පිත්ත ක්‍රියාත්මක කරමින් ශතක 08ක් තමා සතු කරගෙන ඇති අතර, අර්ධ ශතකද 15කටද හිමිකම් කීමට හැකිව ඇත.

30 වැනි වියේ පසුවන දිමුත් කරුණාරත්න ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර, මේ වනවිට සිංහල ක්‍රීඩා සමාජය (ඉඉඛි) නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමද, යොවුන් කණ්ඩායම් කිහිපයකමද ක්‍රීඩා කර අත්දැකීම් ලබා ඇත.

ටෙස්ට් ඉනිමක මුළු ඉනිම පුරාවටම නොදැවී සිටි ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් තිදෙනකු මීට පෙර ශ්‍රී ලංකා වාර්තා අතර සිටිති. ඊට එක්වූ අලුත්ම සාමාජිකයා බවට ගාල්ලේදී දිමුත් කරුණාරත්න පත්විය.

සිදත් වෙත්තමුණි 1983දී නවසීලන්තයට එරෙහිව ලකුණු 63ක්, මාවන් අතපත්තු 1999දී ලකුණු 216ක් සිම්බාබ්වේට එරෙහිව ලබාගත් අතර, රසල් ආර්නල්ඩ් 1999 වසරේදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 104ක් ලෙස ඉනිම පුරාවටම නොදැවී සිටි ආරම්භක පිතිකරුවන් බවට පත්ව සිටිති.

දිමුත් කරුණාරත්න මෙම දක්ෂතාව ගාල්ලේදී අවසන් වූ අවසන් ටෙස්ට් තරගයේදී දැක්වූයේ එම සටහනට එක්වන සිව්වැන් ලෙසය.

එලෙසම මීට පෙර තම 50 වැනි ටෙස්ට් තරගයේදී සනත් ජයසූරිය ලකුණු 188ක් පාකිස්ථානයට එරෙහිව 2000 වසරේදී ලබාගත් අතර, ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 162ක් සහ 143ක් වශයෙන් ඉනිම දෙකේදීම 2009 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ශතක රැස්කර තිබිණි.

ඔවුන් අතරට එක්වූ අලුත්ම සාමාජිකයා බවට පත්වූ දිමුත් කරුණාරත්න තම 50 වැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 158ක් මෙලෙස ලබාගැනීමට සමත් විය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්