කැබිනට් මණ්ඩලයේ සහ ජාතික  ‍පොලිස් කොමිසමේ නිර්දේශ මත දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ ලැයිස්තුවෙන් උසස්විම් ලද ‍පොලිස් නිලධාරීන් 63 දෙනකු ‍පොලිස්පතිට අභියෝග කරමින් ඉදිරි සතිය තුළ සිය උසස්වීම්වලට අදාළ නිල ඇඳුම් ඇඳීමට තීරණය කර තිබේ.

එම උසස් කිරීම්වලට අදාළව ‍පොලිස්පතිවරයා වෙත ජාතික ‍පොලිස් කොමිසම ලිඛිත දැනුම්දීම් කර මාස හතකට අධික කාලයක් ගතව තිබියදීත් ‍පොලිස්පතිවරයා ඊට අදාළ අනුමැතිය නිකුත් කර නොමැති වීම මෙම අර්බුදයට මුල්වී තිබේ.

තමන්ගේ උසස්වීමට  අදාළ නියෝගය නිකුත් කිරීම ‍පොලිස්පතිවරයා හිතාමතාම මගහරිමින් සිටින බවට එම ‍පොලිස් නිලධාරීන් ඉකුත් සතියේ ‍පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබේ.

විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාට  කැබිනට් අනුමැතියකින් සහ ජාතික ‍පොලිස් කොමිසමේ නිර්දේශයෙන් නැවතත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස පත්කළ විටද ‍පොලිස්පතිවරයා ඊට අදාළ ‍පොලිස් පණිවිඩය නිකුත් නොකළේය. ‍පොලිසියේ උසස් කිරීමේ සහ පත්කිරීමේ බලධාරියා ජාතික ‍පොලිස් කොමිසම බව පෙන්වා දෙමින් එහිදී රවී වෛද්‍යලංකාර මහතා ‍පොලිස්පතිවරයාගේ පණිවිඩය නිකුත්වන තුරු බලා නොසිට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස ඉකුත් මාසයේදී වැඩ භාර ගෙන තිබුණේය.

ගයාන් කුමාර වීරසිංහ