මෙරට මරණ දඬුවම අවසන් වරට ක්‍රියාත්මක වූයේ 1978 වසරේදීය. නමුත් එතැන් සිට මේ දක්වා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ කාලවකවානුවලදී කතා බහ ඇති වුවද ඊට  අත්සන් තබා බලාත්මක කිරීමට  කිසිදු ජනාධිපතිවරයකු ඉදිරිපත් වූයේ නැත.

එල්ලුම් ගහ ඒමේ අවසන් අදියරයන්ට, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු සමයේ පැමිණිය ද ඊට කිසිදු ජනාධිපතිවරයකු අත්සන් කළේ නැත. නමුත් එල්ලුම් ගහට අවශ්‍ය කඹ පාකිස්තානයෙන් ආනයනය කළේය. අලුගෝසුවන් බන්ධනාගාරයට බඳවා ගත්තේය.

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ගැන අවසන් වරට රට  තුළ ආන්දෝලනයන් හටගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ මස 11 වැනිදා මහනුවර පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගි වෙමින් කරන ලද කතාවකිනි. එහිදී ජනාධිපතිවරයා කීවේ කුඩු වසංගතය මෙරටට පිළිලයක් වී ඇති බවත්, මත්ද්‍රව්‍ය  වැරදිකරුවන්ට මරණ දඬුවම නියම කළ ද ඔවුන් බන්ධනාගාරයේ සිටිමින් තමන්ගේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම යහමින් සිදුකරන බවත්ය. බන්ධනාගාරයේ සිටිමින් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයින්ට මරණ දඬුවම නියම කිරීමට  තමන් පසුබට නොවන බව ජනාධිපතිවරයා එහිදී කීවේය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, මරණ දඬුවම නියම වූවන්ගේ ලැයිස්තුවක් ලබාදෙන ලෙස අධිකරණ  සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරල මහත්මියට දැනුම් දුන්නේය.   ජනාධිපතිගේ නියමයට අනුව තලතා අතුකෝරාල ඇමැතිවරිය බන්ධනාගාරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණ දඬුවම නියම වී සිටින අයගේ ලැයිස්තුවක් බන්ධනාගාරය  මගින් කැඳවනු ලැබුණි.
බන්ධනාගාරය විසින් පළමුව  එල්ලුම් ගහට යැවිය යුතු 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් ඇමැති තලතා අතුකෝරාල මහත්මිය වෙත ලබාදී තිබුණි. එම ලැයිස්තුව තමන් අතට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී කියා සිටියේ එල්ලුම් ගහට නියම වී සිටින පළමුවැන්නා කාන්තාවක් බවයි. ඒ සම්බන්ධයෙන් වන ඉඟි කිහිපයක් ද ඇමැතිවරිය එහිදී ප්‍රකාශ කළාය.

වර්තමාන අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය කාන්තාවක් විසින් හොබවන සමයක, මත්ද්‍රව්‍ය චෝදනාවට ලක් වූ කාන්තාවක්ම එල්ලුම් ගහට පළමුව යැවීමට  සිදුවීම ෙදෙවෝපගත සිදුවීමක් බව කිව හැකිය.

මෙලෙස පළමුව එල්ලුම් ගහට යැවීමට නියමිතව ඇත්තේ මට්ටක්කුලියේ පදිංචි තිදරු මවක වන 46 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ ශ්‍යාමලී පෙරේරා නමැති කාන්තාවකි. ඇයට මරණ දඬුවම නියම වූයේ 2011 මාර්තු 01 වන දාය.
හෙරොයින් ග්‍රෑම් 23.9ක් ජාවාරම් කිරීමේ අධි චෝදනාවට වරදකරු වූ  ශ්‍යාමලී පෙරේරා විත්තිකාරියට කොළඹ මහාධිකරණ විනිසුරු පී්‍රති පද්මන් සූරසේන මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

ජනාධිපතිවරයා නියම කරන  දිනයක සහ වේලාවක විත්තිකාරිය එල්ලා මරණ ලෙසත්, එම දිනය පැමිණෙන තුරු විත්තිකාරිය වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2004 දෙසැම්බර් 19 වැනිදා හෝ ඊට  ආසන්න දිනයකදී මට්ටක්කුලිය ප්‍රදේශයේ විත්තිකාරිය හෙරොයින් ජාවාරමේ යෙදී සිටින බවට මෝදර ‍පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, අත්අඩංගුවට පත් විත්තිකාරියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධි චෝදනා, පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියට මරනීය දණ්ඩනය නියම කළේය.

විත්තිකාරියට මරනීය දණ්ඩනය නියම කර මේ වන විට වසර 07ක් ගත වී තිබේ. නමුත් ජනාධිපතිවරයා විසින් මරණ දඬුවමට අත්සන මතෛක් තබා නොමැති හෙයින් ඇයට තවමත් ජීවත් වීමේ වාසනාව උදා වී තිබේ.

මරණීය දණ්ඩනය රට තුළ යළි ක්‍රියාත්මක වුවහොත්, මුලින්ම එල්ලා මැරිය යුතු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණ දඬුවම නියම වී සිටින 18 දෙනනකුගේ නම්  ලැයිස්තුවක් මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

එම වාර්තාවෙන් හෙළිවන  ආකාරයට 2002 සහ 2003 වසරවලදී මරණ දඬුවම හිමි වී මේ දක්වා  බන්ධනාගාරයේ රඳවා සිටින එස්.කේ. ජයතිලක, ශ්‍රී ධර්මාකරන්, 2007 වසරේදී මරණ දඬුවම් නියම වූ වේලායුධන් මුරලිදරන්, බි.ජී. බෝල්සිං, එම්.එස්.එම්. මින්තාර්, 2009 වසරේදී මරණ දඬුවම නියම වූ ශිවනේෂන් රාජා, 2012 මරණ දඬුවම නියම වූ එස්. පුණ්‍යාමූර්ති, කේ.එම්. චමින්ද, එස්. ගනේෂන්, 2013 වසරේදී මරණ දඬුවම නියම වූ ඩබ්ලිව්. විනයාගමූර්ති, ඒ.එස්. සුරේෂ් කුමාර්, මෙසේ එල්ලා මැරීමට නියමිත පුද්ගලයින් 18 දෙනා අතර සිටිති.

ඊට අමතරව 2015 වසරේදී මරණ දඬුවම නියම වූ රංග සම්පත් ෆොන්සේකා, මෙම වසරේදී මරණ දඬුවම නියම වූ එම්.ඒ. සුමනසිරි යන අය ද වෙති. මෙම 18 දෙනාගේ ‍ලේඛනයේ මරණ දඬුවම නියම වී සිටින පාකිස්තානු ජාතිකයින් සිව් දෙනකු ද සිටීම විශේෂත්වයකි.

එස්. මොහොමඩ්, එම්. කුමාර්, එස්. නසාර්, ඒ. ජී.ඒ. බ්‍රට් යන පාකිස්තානු ජාතිකයින් සිව්දෙනා එලෙස එල්ලා මැරීමට නියමිතය.

මෙම 18 දෙනාගෙන් සිව් දෙනකු දැනට රිමාන්ඩ් භාරයේ  සිටින ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරී කළ ‍පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීමෙන් පසු මරණ දඬුවම නියම වූවෝ වෙති.

සියලු කටයුතු මෙසේ සිදු වුවද  මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරිමට එරෙහිව ජාත්‍යන්තරයෙන් නැගෙන ප්‍රබල විරෝධතාවන් හමුවේ ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිය  අත්සන යොදයිද යන සැකය දැන් මතුව  තිබේ.

ඉෂාර රත්නකාර