ගාලූ නගරය ලෝක මට්ටමෙන් යම්  ප‍්‍රසිද්ධියක් ලබන්නට  ප‍්‍රධාන කාරණා දෙකක් හේතු වී තිබේ. ඉන් පළමුවැන්න   ඕලන්ද බළකොටුවයි. දෙවැන්න ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයයි. ගාලූ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය කඩා ඉවත්කොට සංචාරක ආකර්ෂණය ඇතිවන ලෙස නගර නිර්මාණය කරන්නට යන බවට සැලවීමත් සමග ගාල්ලේ ජනතාව සේම රටේ සිටින ක‍්‍රිකට් ලෝලීහුද  වික්ෂිප්තභාවයට පත් වූහ. මුලින් ඒ බව සඳහන් ආරංචි පැතිර ගිය නමුත් පසුව ආරංචි වූයේ මෙය ගාලූ කොටුවේ ලෝක උරුමයට සිදුවන හානියක් හේතුවෙන් සිදු කරන්නට යන කටයුත්තක් බවයි.  ගාලූ කොටුව ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කර ගැනීමට නම් ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන ක‍්‍රීඩා මණ්ඩපය සම්පුර්ණයෙන් කඩා ඉවත් කළ යුතු බව යුනෙස්කෝ සංවිධානය රජයට නිල වශයෙන් දැනුම් දී තිබෙන බවක්ද පසුව පැවසිණි. මේ ආකාරයෙන් විටින් විට විවිධ ආරංචි ලැබුණද රජයේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව හරි ආකාර මතයක් ප‍්‍රකාශ වූයේ නැත.

මෙම කරුණ මුල්කර ගනිමින් සමාජ මාධ්‍ය අතරද විවිධ විවේචන සහ ඊට පක්ෂ අදහස් ගණනාවක් පළව තිබූ අයුරු දකින්නට ලැබුණි. ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය යනු ශ‍්‍රී ලංකාව සතු වාසනාවන්තම ක‍්‍රීඩාංගණය බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. පසුගිය වසර විස්ස පුරාම එහි පැවැත්වූ අන්තර්ජාතික තරග වැඩි ගණනක ජය ලැබුණේ ශ‍්‍රී ලංකාවටයි.  1998 වසරේ සිට මෙතෙක් ගාලූ ක‍්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 31ක් පවත්වා ඇත. ඉන් ශ‍්‍රී ලංකාව අවස්ථා 18කදී ජයග‍්‍රහණය කර  අවස්ථා 7කදී පරාජය වී තවත් තරග 6ක් ජය පරාජයෙන්  තොරව අවසන් කරගෙන තිබේ. ඒ අනුව බැලූවාම වැඩි වාසිය ලංකාවට බව පෙනෙන්නට තිබේ. යම් හෙයකින් ගාලූ ක‍්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට ගෙන ගියහොත් මෙතෙක් කාලයක් ලැබූ ක‍්‍රීඩාවේ වාසිය නැති වේදෝයි කියා  ක‍්‍රීඩා ලෝලීන් දුක්වන බව පෙනෙන්නට තිබේ. පසුගියදා මාධ්‍ය හමුවකට එක් වූ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රංගන හේරත් පවා පවසා සිටියේ ගාලූ ක‍්‍රීඩාංගණය ඉවත් කරන්නේ නම් තමා ඒ පිළිබඳ කනගාටු වන බවයි. ඔහුට ගාලූ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ කඩුලූ සියයක් සම්පූර්ණ කර ගැනීමට ඇත්තේ තවත් එක කඩුල්ලක් ලබා ගැනීම පමණක් බවද ඔහු පැවසුවේය. ක‍්‍රිකට් යනු ලංකාවේ ජාතික ක‍්‍රීඩාවටත් වඩා මේ රටේ ජනප‍්‍රිය ක‍්‍රීඩාව බැවින් ක‍්‍රීඩාව පැත්තෙන් මෙවන් මත ඉදිරිපත් වීම පුදුමයක් නොවේ.

අනෙක් පසින් ගත් විට ගාලූ කොටුව යනු පෞරාණික උරුමයක් ඇති අපට ඇති ලෝක උරුමයන් හතරෙන් එකකි. ඒ නිසා ලෝක උරුමයන් රැුකගැනීමට අපට වගකීමක් තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාලූ උරුමය, යුනෙස්කෝ සංවිධානය, සංස්කෘතික අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාද  පසුගියදා මේ පිළිබඳව සාකච්ජා කොට කිසියම් වැදගත් තීරණ කිහිපයක්ම ගෙන ඇති බව දැනගන්නට ඇත. මෙම සාකච්ජාවට සහභාගි වූ   සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුව මාධ්‍යයට පවසා සිටියේ ගාලූ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට කිසිදු තීරණයක් නොගත් බවයි. නමුත් මීට පෙර අවස්ථාවක ගාල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාලූ ක‍්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට ඇති අවශ්‍යතාව පිළිබඳව පැවසූ අයුරු අපගේ මතකයේ ඇත. මෙම සාකච්ජාවටම එක්වූ  ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ  මෙය කඩා ඉවත් කිරීම සිදුකරනවා නම් ඒ සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවයි. එකී ප‍්‍රතිපත්තිමය තීරණය ගත යුත්තේ අගමැතිවරයා, ජනාධිපතිවරයා සිටින  කැබිනට් මණ්ඩලයෙන් බවද ඔහු පවසා තිබුණි. ඒ ඒ ප‍්‍රකාශවල ඇති නොගැළපෙන ස්වභාවය විසඳීමට නම් රජයේ පාර්ශ්වයෙන් සිය මතය සෘජුව ඉදිරිපත් කළ යුතුය.

හිටපු ක‍්‍රිකට් නායකයකු වූ ඇමැති අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළේ මෙහි ගැටලූව ඇත්තේ අනවසරයෙන් ඉදි වූ ක‍්‍රීඩා මණ්ඩපයේ නම් එය පමණක් කඩා ඉවත්කොට ගාලූ ක‍්‍රීඩාංගණය ආරක්ෂා කර ගන්නට කටයුතු කළ යුතු බවයි.

තවද ගාලූ ක‍්‍රීඩාංගණය විනාශකොට ක‍්‍රිකට් නැති කරන්නට වෙනම බලවේගයක් ක‍්‍රියාත්මක වනවාදැයි කියා සැකයක් තිබෙන බවත් ඔහු පැවසීය.  මේ අවස්ථාවේ රැුවුලයි කැඳයි දෙකම බේරාගත යුතුව ඇති බව පෙනෙන්නට තිබේ. ගාලූ කොටුවේ ලෝක උරුමයත් අපට අවශ්‍යය. ගාලූ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ වාසියත් අපට අවශ්‍යය. ගාලූ සුන්දරත්වය ලෝකයට යද්දී මේ දෙකම ජාත්‍යන්තර ජනමාධ්‍යවල කතා බහට ලක් වූ අයුරු අපි සියැසින්ම දැක ඇත. ඒ නිසා රැුවුලයි කැඳයි දෙකම බේරගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ආණ්ඩුවයි. එනිසා පුද්ගල න්‍යායපත‍්‍රවලට යට නොවූ  පොදුවේ සියලූ දෙනාට පිළිගත හැකි තීන්දුවක් රජයේ පාර්ශ්වයෙන් පැමිණෙන තුරු රටේ ජනතාව බලා සිටී.