‍පොහොට්ටුවෙන් 2020ට දාන්නේ කවුද කියන එක දැන්ම කියන්න හොඳ නැහැ.
මහින්දගේ පැත්තෙන් 2020ට ඉදිරිපත් වෙන අපේක්ෂකයා ගැන කතාබහ කරන විට සමහරුන් කියන්නේ එහෙම කතාවකි.

අපේක්ෂකයාව මුලින්ම කිව්වාම ගැම්මක් නැති වෙනවා. ඒ වගේම එතකොට ඒ මනුස්සයාට මඩ ගහන්න විරුද්ධවාදීන්ට අවස්ථාවක් ලැබෙනවා.

2020 අපේක්ෂකයා කලින් කියන එකේ අවාසි සමහරුන් දකින්නේ ඔන්න ඔය විදියටය.
ඉතිහාසය දිහා බැලුවාම පේන්න තියෙන්නේ ජනාධිපතිවරණයක් දිනන්න නම් අපේක්ෂකයා රහසක් විදිහට තියාගෙන ඉඳලා එක පාරටම එළියට දාන්න ඕන.

සමහර දේශපාලන විචාරකයන්ට අනුව නම් ජනාධිපතිවරණ දිනලා තියෙන්නේ අන්තිම මොහොතේ එළියට එන අපේක්ෂකයන්ය. කොටින්ම කිව්වොත් හැංගිමුත්තම් සෙල්ලම් කරන අපේක්ෂකයන්ය. ඇත්තම කිව්වොත් ඒ තර්කය යූ.ඇන්.පී. එකේ බංකොළොත් දේශපාලන විචාරකයන් ජාම බේරා ගන්න ඉදිරිපත් කරන දේශපාලන තර්කයකි.

මේ වෙලාවේ යූ.ඇන්.පී. එක ඉන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු තෝරා ගන්න බැරිව අසරණ වෙලාය. යූ.ඇන්.පී. එකට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ විකල්ප දෙකකි. එකක් ඔරිජිනල් යූ.ඇන්.පී. කාරයකු රේස් එකට දාන එකය. දෙවැනි එක 2015දී වාගේ ‍පොදු අපේක්ෂකයකු දාන එකය. හැබැයි 2015දී ‍පොදු අපේක්ෂකයකු දාලා අද යූ.ඇන්.පී. එක විඳින දුකේ හැටියට රෑ වැටුණු වළේ දවල් වැටෙයි කියලා හිතන්න බැරිය.

එහෙනම් යූ.ඇන්.පී. එකට තියෙන එකම විකල්පය තමන්ගේම කියලා අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එකය. ඔරිජිනල් යූ.ඇන්.පී. කාරයකු 2020 ජනාධිපතිවරණ සටනට දානවා නම් ඉන්නේ දෙන්නෙකි. ඒ රනිල් සහ සජිත්ය. 2020 කියන්නේ රනිල්ගේ අවසන් සටනය. උන්නත් එකයි, මළත් එකයි සටනය. 2020දී දින්නොත් රනිල්ට තව අවුරුදු 5ක් පක්ෂ නායකත්වයත් රැකගෙන ගේමක් ගහන්න පුළුවන්ය. 2020දී පැරදුණොත් රනිල් සදහටම ගෙදරය. ඒ වාගේම 2020 අපේක්ෂකකම සජිත්ට දුන්නත් රනිල්ට සිද්ධ වෙන්නේ ගෙදර යන්නය. මොකද සජිත් 2020 අපේක්ෂකකම භාරගන්නවා නම් භාර ගන්නේ පක්ෂ නායකත්වයත් එක්කය. පක්ෂ නායකකම නැතිව ජනාධිපති අපේක්ෂකත්වය විතරක් භාරගන්න සජිත් ලෑස්ති නැත. ඒ නිසා සජිත්ට පක්ෂ නායකකමයි, ජනාධිපති අපේක්ෂකකමයි දෙකම දෙන්නට රනිල්ට සිද්ධ වුණොත් රනිල්ගේ දේශපාලන ගමන එතැනින් ඉවරය. එහෙම බැලුවාම රනිල්ට හොඳම දේ ඕන කෙංගෙඩියක් වෙච්ච දෙන් කියලා 2020ට ඉල්ලන එකය. රනිල් කරන්න හදන්නේ ඒ සෙල්ලම බව පේන්න තිබේ. අනෙක් අතට සජිත්ගේ ඉලක්කය 2020 නොවේ. සජිත්ගේ ඉලක්කය 2025ය.

යහපාලන ආණ්ඩුව 2018 වන විට නාගෙන තියෙන මට්ටමේ හැටියට 2020 වන විට කොයි තරම් නාගනියිද කියන එක අමුතුවෙන් හිතන්න දෙයක් නැත. ඇත්තම කිව්වොත් 2020 කියන්නේ යූ.ඇන්.පී. එක ජයග්‍රාහී මානසිකත්වයක ඉන්න ජනාධිපතිවරණයක් නොවේ. යූ.ඇන්.පී. එක මේ වෙලාවේ ඉන්නේ පරාජිත මානසිකත්වයකිනි. පළාත් පාලන ඡන්දය නැති වෙන්නම පැරදිලා ඉන්න යූ.ඇන්.පී. එකට ඔක්සිජන් දීලා 2020දී කෙළින් කරන එක ‍ලේසි පහසු නැත.  පළාත් සභා ඡන්ද ටික තියන්න බයේ වෙවුලන යූ.ඇන්.පී. එක ජනාධිපතිවරණයේදී කොහොම වෙවුලයිද කියලා හිතාගන්න එක අමාරු නැත. සජිත් මේ ටික නොදන්නවා නොවේ. ඒ නිසා 2020දී කරු ජයසූරිය වාගේ කෙනකු බිලි දීලා 2025දී ජනාධිපති වෙන්න සජිත් බලන් ඉන්නේ ඒ නිසාය. 2020 කියන්නේ රාජපක්ෂලාගේ ජයග්‍රාහී වර්ෂයක් බව දේශපාලනයේ අ යනු ආ යනු දන්න ඕනෑම කෙනකු පිළිගන්නා ‍පොදු සත්‍යයකි.

ඉතින් මේ වෙලාවේ අපේක්ෂකයකු හොයා ගන්න බැරිව ඉන්න යූ.ඇන්.පී. එකේ තර්කයක් වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කලින් එළියට ආවොත් පරදිනවා කියන එකය. සමහරුන් ඒකට ඉතිහාසයෙන් උදාහරණද ගෙනල්ලා පෙන්වති. හැබැයි ඒ උදාහරණවල වලංගුතාවක් නැති බව ඉතිහාසයෙන්ම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ය.
ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ 1978දීය. 1978දී පත් වෙච්ච ජේ.ආර්. 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දෙවැනි වතාවටත් ජනාධිපති පුටුවේ ඉඳ ගන්නය. 1982 ජනාධිපතිවරණයට ජේ.ආර්. ඉදිරිපත් වන බව කාටවත් අලුත් ප්‍රවෘත්තියක් වුණේ නැත. 82 ජනාධිපතිවරණයේ යූ.ඇන්.පී. අපේක්ෂකයා ජේ.ආර්. බව කවුරුත් හොඳින් දැන සිටියහ. හැබැයි එහෙම දැනගෙන හිටියා කියලා ජේ.ආර්. ව පරද්දන්න බැරි වුණේය.

1988 ජනාධිපතිවරණය වෙලාවේ තෙවැනි වතාවටත් ජනාධිපති පුටුවේ වාඩිවෙන්න ජේ.ආර්. ගේමක් ගැහුවේය. ඒ ව්‍යවස්ථා වෙනසක් හරහාය. එවැනි අවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා බලන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කමිටුවක්ද පත් කළේය. හැබැයි ජේ.ආර්. ගේ තෙවැනි වර ජනාධිපති වීමේ සිහිනය බොඳ වී ගියේය. ජේ.ආර්. ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒ සඳහා සුදුසුම අපේක්ෂකයා ප්‍රේමදාස බව එකල මුළු රටම දැන සිටියේය. ජේ.ආර්. සටනට එන්නේ නැත්නම් ජොකියා ප්‍රේමදාස කියන එක ජනතාවට අලුත් ප්‍රවෘත්තියක් වුණේ නැත. ලලිත් හා ගාමිණී, ප්‍රේමදාසට කරට කර සටනක් දෙන බව පෙනුණත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වෙන බවට සැකයක් කාටවත් තිබුණේ නැත. අවසානයේදී ප්‍රේමදාස සටන දිනලා ජනාධිපති පුටුවේ වාඩි වුණේය.

1994 ජනාධිපති සටනට චන්ද්‍රිකා එන බව ජනතාවට අලුත් ප්‍රවෘත්තියක් වෙලා තිබුණේ නැත. මහා මැතිවරණය ජය ගෙන අගමැති පුටුවේ වාඩි වූ චන්ද්‍රිකා ජනාධිපතිවරණයට තරග කරන බව හැමෝම දැනගෙන සිටියහ. චන්ද්‍රිකා 1994දී ජනාධිපති ධුරයට තරග කරන බව මුළු රටම දැනගෙන හිටීම චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට බාධාවක් වූයේ නැත. චන්ද්‍රිකාට 62ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් අරන් ජනාධිපති පුටුවේ වාඩිවෙන්න එයින් කිසිම අවාසියක් වුණේ නැත.

1999 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා ඉදිරිපත් වන බවත් මුළු රටම දැනගෙන සිටියේය. 1999 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා ආවේ සැඟවුණු අපේක්ෂිකාවක ලෙස එක පාරට නොවේ. හැබැයි චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට එය බාධාවක් වුණේ නැත. චන්ද්‍රිකාට වැදුණු බෝම්බය ඇයට ආශිර්වාදයක් වුණු බව ඇත්තක් වුණත් 1999 ජනාධිපතිවරණයේදී ‍පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව ලෙස පුටුව ලකුණෙන් ඇය ඉදිරිපත් වෙන බව මුළු රටම කලින් ඉඳන්ම දැනගෙන සිටියා කියලා ඇයට ඡන්ද අඩුවුණේ නැත.

2005 ජනාධිපතිවරණයට මහින්දව නම් කරන්න චන්ද්‍රිකා යම් කාලයක් ගත්තත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තා ලෙස මුළු රටම හඳුනාගෙන සිටියේ අගමැති ධුරය දැරූ මහින්දය. අනුරගේ නමත් කියැවුණත් අනුරට සමාජයෙන් ඉල්ලුමක් තිබුණේ නැත. ඉල්ලුම තිබුණේ මහින්දටය. ඒ නිසා අකමැත්තෙන් වුණත් මහින්දව ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කරන්න චන්ද්‍රිකාට සිද්ධ වුණේය. චන්ද්‍රාකාගේ කකුලෙන් ඇදීම් මධ්‍යයේ පවා සටන දිනන්න මහින්දට පුළුවන් වුණේය.

2010 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වන බව මුළු රටම පමණක් නොව, මුළු ලෝකයම දැනගෙන සිටියේය. 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු හැංගිමුත්තං අපේක්ෂකයා ෆොන්සේකාය. හැබැයි හැංගිමුත්තං සෙල්ලම් කරලා අන්තිම මොහොතේ එළියට ආවා කියලා ෆොන්සේකාට ලැබිච්ච සෙතක් නැත. ෆොන්සේකාට සිද්ධ වුණේ මහින්ද ඉදිරියේ අන්ත පරාජයක් ලබන්නටය.

හැංගිමුත්තං සෙල්ලම් කරලා යම් ජයග්‍රහණයක් ලැබුවා නම් ඒ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල ලැබූ ජයග්‍රහණය පමණි. ඉතිහාසයටම එවැනි ජයග්‍රහණයකට තියෙන්නේ මෛත්‍රිපාල 2015 ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය පමණි. හැංගිමුත්තං සෙල්ලම් කරලා අන්තිම මොහොතේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ඇවිල්ලා ලැබූ ජයග්‍රහණයේ තරම පසුගිය දවසක ජනාධිපති මෛත්‍රිපාලගේ කටින්ම එළියට පැන්නේය. එක්දහස් නවසිය හැට ගණන්වල ඉඳලා නැගගෙන ආ තමන්ගේ දේශපාලන ජීවිතය 2015 ජනවාරි 08 ඉඳන් පිම්මේ පහළ බැස්ස බව ජනාධිපති මෛත්‍රිපාල ප්‍රසිද්ධ සභාවකදී ප්‍රකාශ කළේ පහළ බැස්ස හැටි අතින්ද පෙන්වමිනි. ඉතින් එහෙම බලනකොට ජනාධිපතිවරණ ඉතිහාසයේ හැංගිමුත්තං සෙල්ලම් කරලා අන්තිම මොහොතේ කාටත් හොරෙන් කරළියට ආ අපේක්ෂකයන් ජයග්‍රහණය කරලා නැත. එහෙම ඇවිල්ලා ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා වන්නේ ජනපති මෛත්‍රිපාලය. එතුමාම කියන විදියට එතුමා දැන් ජනප්‍රියත්වයෙන් බිංදුවටම වැටිලා ඉවරය.

ඒ නිසා 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා  ගෝඨාභය නම් කලින් ඉඳන්ම කලඑළි බැසීමේ කිසිම වැරැද්දක් නැත. වියත් මග හරහා, එළිය හරහා ගෝඨාගේ කළඑළි බැසීමත් එක්ක සමහරුන් කලබල වෙලා ඉන්නේ භූමිතෙල් ගෑවුණු ගැර¾ඩින් වාගේය. ඉතින් මේ දේශපාලන ගැර¾ඩින් කවුද කියලා කලින්ම හඳුනා ගන්න ලැබෙන එකත් එක අතකින් වාසනාවක්ය. එවැන්නන් ගැන මහින්දට කලින්ම දැන ගන්න ලැබුණා නම් 2015දී ඔහු පරාජය නොවන්නට ඉඩ තිබුණි. සැබෑ සතුරන් කවුද, සැබෑ මිතුරන් කවුද කියලා කලින්ම දැන හඳුනා ගැනීමට ලැබිම අවසන් සටනට වාසියකි.

කරන්න තියෙන චෝදනා කලින්ම කරන එකත් එක අතකින් වාසියකි. එතකොට ඒවාට උත්තර දෙන්න ප්‍රමාණවත් කාලයක් තිබේ. ඒ වාගේම ඒ චෝදනාවල සත්‍ය අසත්‍යතාව ඔප්පු කරන්න විරුද්ධවාදීන්ටත් ඕනෑ තරම් කාලය තිබේ.

ජනාධිපතිවරණය කටඋඩ තියාගෙන බොරු චෝදනා එල්ල කළොත් ඒවාට උත්තර දෙන්න කාලයක් නැත. මහින්දට සිද්ධ වුණේ ඒකය. හයිවේවලින් හොරකම් කරපු කතා, ඩුබායි බැංකුවල ඇති බිලියන ගණන් මුදල් ගැන කතා, ලැම්බෝගිනි කතා, රත්රන් අශ්වයන් ගැන කතා  අන්තිම මොහොතේ ඇත්ත කතා වාගේ කියන්න විරුද්ධවාදීන් කටයුතු කළ නිසා මහින්දට ඒවා ඇත්ත නොවන බව ඔප්පු කරලා පෙන්වන්න බැරි විය. හැබැයි අද ඒ එකම එක චෝදනාවක්වත් ඔප්පු කරගන්න බැරිව යහපාලන ආණ්ඩුව අද ඉන්නේ ග‍ලේ පහරපු බළලුන් වාගේය. 2015 දී කියූ කතා බොරු බව ජනතාවට අවබෝධ වන්නේ 2020දීය.

සඳුන් ජීවන්ත