සිතුමි අරලිය මුතුපබලු වීරසිංහ දියණිය මේ දිනවල නිදිවර්ජිතව පාඩම් වැඩවල නිරත වන්නේ මෙවර පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමටයි. අන් දරුවන්ට මෙන් ඇයටද අහස උසට ප්‍රාර්ථනා ගොන්නකි.

ශිෂ්‍යත්ව විභාගය හොඳින් පාස් වෙලා මම ලොකු ඉස්කෝලෙකට ගිහිල්ලා හොඳට ඉගෙන ගන්නවා. ඉගෙන ගෙන ලොකු වුණාම දොස්තර කෙනෙකු වෙනවා.

මුතුපබලුගේ අහිංසක ප්‍රාර්ථනාවට අද වැට කඩොලු බැඳ ඇත්තේය. ඒ වැට කඩුල්ල බවට පත්ව ඇත්තේ ඇගේම රෝගී තත්ත්වයයි.  එහෙත් ඇයගේ රෝගී තත්ත්වය බාධාවක් කර නොගෙන  ඇය  ඉදිරියටම යන්නීය. ඇයගේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට හෝ මැඬ පවත්වා ගැනීමට ඔබට ශක්තියක් විය හැකි නම් එය මහත් ආනිශංසයන් ලබාදෙන පින්කමකි. මේ වන විට ඇය අධ්‍යාපනය ලබන පරගස්වැව ප්‍රාථමික විද්‍යාලයන්හි ගුරු මඬුල්ල හැකි පමණ උදව් උපකාර කරන්නේය. එයට අමතරව රෝහ‍ලේ වෛද්‍යවරුන් ඇතුළු තවත් බොහෝ පිරිසක් උදව් උපකාර කරන්නේය.   එම උදව් උපකාර ප්‍රමාණවත් නොවන බැවින් සිතුමිගේ මව  බදුල්ල, අම්පාර, මයියංගණය, කතරගම වැනි ප්‍රධාන නගරයන්හි සිඟමන් යැදීමද කළාය.

වසර 2008 මැයි මාසයේදී සිතුමි උපත ලැබුවේ අක්කලා දෙන්නෙකුට හා අයියලා දෙදෙනකුගේ නැඟණියක් ලෙසටය. ඔවුහු තම මවට තුරුලු වී මව් උණුසුම ලබමින් දෙතනේ කිරි උරා බි ලොකු මහත් වූහ.  එහෙත් ඒ වාසනාව සිතුමිට නොමැති විය.  මවගේ උණුසුමට  ඇය තුරුලු වුවත් මවගේ රුහිරු කිරට  හැරුණත් ඒවා බිමට සිතුමිට හැකි වූයේ මාසයකටත් වඩා අඩු කාලයකි.

ඇය මව්කිරි බඩ පුරා බිවාය.  ඇගේ බඩ දිනෙන් දින අසාමාන්‍ය ලෙස විශාල විය. සිතුමිගේ මවට දරුවාගේ මේ අසාමාන්‍ය රෝග ලක්ෂණය බලා සිටීමට නොහැකි වූයෙන් ඇය දරුවා රැගෙන ගියේ  ‍පොළොන්නරුව රෝහල වෙතය. ‍පොළොන්නරුව රෝහ‍ලේ වෛද්‍යවරුන් විසින් කරන ලද ප්‍රතිකාරවලින් නිසි සුවයක් නොලැබුණු තැන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර එවීය.

ළමා රෝහල තුළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රම්‍යා එදිරිසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ  ප්‍රතිකාර ලැබූ සිතුමි, වසර හතරහමාරක් රෝහල් ගතව සිට නැවත නිවස වෙත පැමිණියාය.  නිවසට පැමිණියත් සිතුමිට අනෙක් දරුවන්ට මෙන් විවිධ ආහාර ලබා ගත නොහැකිය. සිතුමිගේ මව නොයෙකුත් ආහාර දරුවාට ලබා දුන්නද ඇයට ඒවා කෑමට බැරිය. කෑ විට ඒ සියලුම දේ වමනය ලෙස හෝ මළපහ ලෙස ඒ මොහොතේදීම පිටවන්නේය.

සිතුමි රෝහල්ගතව සිටින කාලයේදී ආනමාලු කෙසෙල් ගෙඩි හා කොළපැහැ ඇපල් ආහාරයට ගත් විට එම ආහාර පමණක් දරුවාට දිරවීය. මේ අනුව සිතුමිගේ මව කොළපාට ඇපල් හා ආනමාලු පමණක් සිතුමිට දිනපතා දුන්නාය.
දරුවාට කුමන ආහාරය ලබා දුන්නද එය ඇයගේ ශරීරය තුළදී නොදිරන බැවින් සිතුමිගේ මවගේ හිස ගිනි ඇවිලෙන්නාක් මෙනි.

මගේ දරුවත් එක්ක මම අවුරුදු නමයක් දුක් වින්දා ඉස්පිරිතා‍ලේ ඉඳලා ගෙදර ආවා. දරුවාට අවුරුදු නමයක් තිස්සේම මොනම ආහාරයක්වත් කන්න බැහැ. කෑවොත් වමනය යනවා. නැතිනම් මලපහ ලෙස පිට වෙනවා. අපි හොඳ බෞද්ධයෝ. ඒත් මම බෞද්ධකම ‍පොඩ්ඩක් අමතක කරලා දරුවාට දවසක් හරක් මස් කෑල්ලක් ගෙනත් දුන්නා. ඒක කළෙත් හිතකින් ‍නෙවෙයි. ඒත් දරුවාට ඒක  පත්තියන් වුණා. ඒ නිසා දිගටම හරක් මස් දෙන්න පටන් ගත්තා. දැන් දරුවා  සාමාන්‍ය දරුවෙක් වගේ හැදෙනවා හොඳට ඉගෙන ගන්නවා. ඒත් දවසකට හරක් මස් රාත්තල් එකහමාරක් විතර ඕනේ ඒකට රුපියල් 1500ක් විතර වියදම් වෙනවා. අපිට ඒ මුදල හොයාගන්න අමාරුයි. අපි කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.  අපිට කවුරු හරි උදව්උපකාර කරනවානම් ඒක ලොකුම පිනක්.

සිතුමිගේ රෝගී  තත්ත්වය පිළිබඳව අපි දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහ‍ලේ  වෛද්‍ය චන්න පේදුරු ආරච්චි  මහතාගෙන් විමසුවෙමු. ඔහු සඳහන් කළේ මෙවන් දෙයකි.

සිතුමිට වැලඳිලා තියෙන්නේ ඉතා කලාතුරකින් අසන්නට ලැබෙන රෝගයක්. මෙවැනි රෝගීන් ලෝකයේම ඉන්නේ  200ක් විතර. මේ දරුවා ‍ප්‍රෝටීන් බහුල ආහාර හැරුණු කොට අනෙක් මොනම ආහාරයක් හෝ ගත්තොත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. මොකද අපි  ආහාරයට ගන්න එළවළු, පලතුරු ඒ වාගේම පිෂ්ඨය අඩංගු ආහාර  ඇතුළු බොහෝ ආහාර ශරීරය තුළදී ජීර්ණය වී අවසානයේදී සිරුරට උරාගන්නේ ග්ලුකෝස් විදිහටයි. ඒ වගේම කිරි ආහාර ගත් විට එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ග්ලැක්ටෝස් ශරීරයට උරා ගැනීමයි. ඒ අනුව ග්ලුකෝස් සහ ග්ලැක්ටෝස් කියන සංඝටකයන් බඩවැල් තුළදී අවශෝෂණය වීමට විශේෂිත වූ එන්සයිමයක් ශරීරයේ නිෂ්පාදනය වෙනවා. එම එන්සයිමය සිතුමිගේ සිරුරේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. මෙම රෝගී තත්ත්වය ඳභධබ ට්තභජධඵඥ ට්චතචජබධඵඥ ර්චතචඡඵධපනබඪධද  නමින් හඳුන්වනවා.     මේ නිසා සිතුමිට ආහාර විදිහට ගන්න පුළුවන් වෙන්නේ ‍ප්‍රෝටීන්වලින් පිරුණු ආහාරයක් විතරයි.

‍ප්‍රෝටීන් පමණක් අන්තර්ගත ආහාරයන් ලොව නිෂ්පාදනය නොවන්නේය. මේ වන විට ‍ප්‍රෝටීන් අන්තර්ගත ආහාරයන් වන්නේ ක්‍රීඩකයන්ගේ මස් පිඬු වැඩීම හා ශක්තිය ලබා දීම සඳහා ලබා දෙන වේ ‍ප්‍රෝටීන්  නමැති  කිරිපිටි වර්ගයකි. මෙවැනි කිරීපිටි වර්ගයක් සිතුමිට ලබා දීමට කවුරුන් හෝ සිටින්නේ නම් ඒ සඳහා උදව් කළ හැකිය.

කෙසේ නමුත් සිතුමිට උදව් කිරිම සඳහා යුද හමුදාපතිගේ උපදෙස් මත  හමුදා නිලධාරීන් පිරිසක්  ඉදිරිපත් වී ඇත. මේ වන විට ‍ප්‍රෝටීන් අධික ඇල්ගී  ශාකයක් කන්දකාඩු ගොවිපළේ වගා කරමින් එමගින් පිටි වර්ගයක් හා එම පිටි භාවිත කරමින් නිපදවන බිස්කට් වර්ගයක් සිතුමිට දිය හැකි වේවිදැයි යන්න සොයා බලමින් සිටියි. එම ශාකමය නිෂ්පාදනය මේ වන විට ආහාරය සඳහා භාවිත කරන බවද හමුදා නිලධාරියකු අප හා පැවසීය.

සිතුමිට උදව් කළ හැකි අයෙක් වෙත්නම් දෙහිඅත්තකණ්ඩිය ලංකා බැංකුවේ 82936554 යන සිතුමිගේ ගිණුම් අංකයට මූල්‍යමය ආධාර කළ හැකිය.

එසේම වැඩි විස්තර සඳහා 0725657616 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

ශ්‍රියානි විජේසිංහ