ළදරුවකුට, වැඩිහිටියකු විසින් බියර් බෝතලයක් ‍පොවන වීඩියෝවක් සමාජ වබේ අඩවිවල වේගයෙන් පැතිර යනවා. මේ පිළිබඳව වහාම සොයා බලා එම වැඩිහිටි පුද්ගලයා අත්අඩංගුවට ගන්න යැයි නියෝග කරමින් ‍පොලිස් මූලස්ථානය ශ්‍රී ලංකාව පුරා පිහිටි ‍පොලිස් ස්ථාන වෙත නිවේදනය කළා. ඒ ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුවය.

2018.07.14 වැනිදා උදෑසන ‍පොලිස් මූලස්ථානය නිකුත් කළ මෙම නිවේදනයත් සමග උසස් ‍පොලිස් නිලධාරීන් මෙන්ම බොහෝ ‍පොලිස් නිලධාරීන් තම ජංගම දුරකථන, පරිගණක ක්‍රියාත්මක කරමින් එක්තරා වීඩියෝවක් නරඹන්නට වූහ.

මුහුණු ‍පොත තුළ ඉතා වේගයෙන් පැතිර ගිය මෙම වීඩියෝව ඉතා කනගාටුදායක එකකි.
වැඩිහිටි පුද්ගලයන් සිව්දෙනකු බිර බොමින් සිටින අතර අවුරුදු එකක් එකහමාරක් අතර දරුවකුට එහි සිටින වැඩිහිටියකු විසින් බිර ‍පොවනු දැකගත හැකි විය.

‍පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකු ඒ වන විට කම්පනයට පත්වූයේ මේ වීඩියෝව තුළ සිටින පුද්ගලයන්  සිව්දෙනා සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් පරුෂ වචන කියමින් කුඩා දරුවා සමච්චලයට ලක් කරන අයුරු දැකීමෙනි.
Untitled-2
මෙම වීඩියෝව 2018.07.13 වැනිදා මුහුණු ‍පොත හරහා අන්තර්ජාලයට එක්කර තිබුණි.
දිවයිනේ පිහිටි ‍පොලිස් ස්ථාන එකවර ක්‍රියාත්මක වී මෙයට සම්බන්ධව සිටින පුද්ගලයන් සිව්දෙනා සහ කුඩා දරුවා සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ වන විටත් මීගලෑව ‍පොලිසියේ ස්ථාන භාර ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.පී.බි. විජේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් මීගලෑව ‍පොලිසියද අදාළ සැකකරුවන් සොයා ක්‍රියාත්මක විය.

‍පොලිස් ස්ථානාධිපතිවරයා සතුව මීගලෑව සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම තොරතුරු ලබාදෙන්නන් කිහිප දෙනකුම සිටියේය.

ඉන් එක් අයකුගේ ජංගම දුරකථනයකින් ලැබුණු පණිවිඩයත් සමග වහාම ජීප් රියට ගොඩ වූ ස්ථානාධිපතිවරයා තවත් ‍පොලිස් නිලධාරින් කිහිප දෙනකු සහ ‍පොලිස් කාන්තාවක්ද නංවාගෙන මීගලෑව, ගන්ගමුව ප්‍රදේශය කරා වේගයෙන් ගමන් කළහ.

ඒ වන විටත් අදාළ තොරතුර ලබාදුන් පුද්ගලයා ‍පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙම වීඩියෝවෙහි සිටින පුද්ගලයන් සිව්දෙනා සහ බිලින්දා පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබුණි.

ගන්ගමුව, 313 අංකය සඳහන් ලිපිනය ඉදිරිපිට ‍පොලිස් ජීප් රිය නතර කරනවාත් සමග ඉන් පැනගත් ‍පොලිස් නිලධාරීන් එම නිවස වටලනු ලැබිය. එම නිවෙස තුළ වීඩියෝපටයේ සිටින කුඩා දරුවා සහ තවත් දරුවන් දෙදෙනකුද කුඩා දරුවාට බියර් පෙවූ පුද්ගලයාද විය.

කුඩා දරුවාට බියර් ‍පොවා ඇත්තේ ඔහුගේම පියා බව ‍පොලිසිය වහාම තේරුම් ගත්තේය.
ගෙදර සිටි අනෙක් දරුවන් දෙදෙනා කුඩා දරුවාගේ වැඩිමහල් සහෝදරියන් බව තේරුම්ගත් වහාම ‍පොලිසිය ඔවුන්ට නොතේරෙන්නට, නොදැනෙන්නට ඔවුන්ගේ පියා ‍පොලිස් අත්අඩංගුවට ගත්තේය.

ඒ සමගම ‍පොලිසිය දිගින් දිගටම මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකිවූයේ ඔහු සමග සිටින අනෙක් පුද්ගලයන් තිදෙනා තමන්ගේ මස්සිනා සහ අනෙක් දෙදෙනා අසල්වැසියන් දෙදෙනකු බවයි.

මොහු ‍පොලිසිය වෙත දිගින් දිගටම පවසා සිටියේ අවුරුද්දකුත් මාසයක් පමණ වයසැති සිය පිරිමි දරුවාට බියර් බෝතලයකට දමා වතුර පෙවූ බවයි. එහි බියර් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

‍පොලිසිය මොහු සමග සිටි අනෙක් පුද්ගලයන් තිදෙනාද ප්‍රශ්න කිරීම්වලට ලක්කළ අතර එම තොරතුරුවලින් අනාවරණය කර ගැනීමට හැකිවූයේ කුඩා දරුවාට බියර් පෙවූ බවත්, ඔහු ඉන් මත් භාවයට පත් වී බහ තෝරමින් තවත් බියර් ඉල්ලා සිටි බවත්ය.

පුරුද්දක් වශයෙන් මෙම සිව්දෙනා එක්ව බියර් පානය කරන අතර, මෙහි ප්‍රධාන සැකකරු වන දරුවාගේ පියාගේ මස්සිනාගේ නිවස ඉදිරිපිට ඒ සඳහා යොදාගන්නා බව ‍පොලිසිය අනාවරණය කරගනු ලැබිය.

මොවුන් ගෙයින් ගෙට ගොස් ප්ලාස්ටික් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදිපිළි, වෙළෙඳාම් කරමින් ජීවත්වන පුද්ගලයන්ය.
1995 අංක 22 පනතේ සඳහන් දණ්ඩනීති සංග්‍රහයේ 308 ආ වගන්තිය ප්‍රකාරව දරුවකු කෲරත්වයට පත්කිරීමේ වරද යටතේ චෝදනා කරමින් මීගලෑව ‍පොලිසිය විසින් මෙම සැකකරුවන් සිව්දෙනා ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉකුත් (17) වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

දරුවාගේ පියා වූ කිරිහොඳාගේ ගුනේන්ද්‍ර රෝහණ සරත්චන්ද්‍ර නොහොත් ගාමිණී (40) ඔහුගේ නැඟණියගේ ස්වාමිපුරුෂයා (මස්සිනා) මොහොමඩ් සහීර් මොහොමඩ් සියාම් (38) ඩිංගිරාලගේ සුමේධ ජයරත්න නොහොත් ධනුෂ්ක සහ මෙරගහගේ ගෙදර චන්ද්‍රසිරි නොහොත් බණ්ඩියා යන සිව්දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

දරුවාගේ පියාගේ නැඟණිය විවාහ වී සිටින පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු වන අතර ඔහු තම මස්සිනා සමග එක්ව නිතර නිතර මත්වතුර පානය කරන බව කියයි.

‍පොලිසිය විසින් වයස අවුරුදු එකයි මාසයක් පමණ වන දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද ලබාගැනීමට පියවර ගනු ලැබිය.

දරුවාට බියර් ‍පොවන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ කර ඇත්තේ මෙම සිව්දෙනාගෙන්ම එක් අයෙකි. එම ජංගම දුරකථනය සහ අදාළ බියර් බෝතලය ‍පොලිසිය විසින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබුණි.

ලබන මස 01 වැනිදා දක්වා සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මෙම පුවතින් බොහෝ දේ අප සමාජයට කියනු ලබන්නේය. මෙම සිද්ධිය එකක් පමණක් වන අතර මෙවැනි සිදුවීම් තවත් කොතරම් ඇත්ද? එවැනි තත්ත්වයකට අප සමාජය පත්වූයේ කෙසේද? තම ලෙයින් උපදින දරුවකුට මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට පියකුගේ මානසිකත්වය ඒ තැනට පත්වූයේ කෙසේද? තවත් වැඩිහිටියන් තිදෙනකු මේ සඳහා අනුබල දෙමින් කිසිවක් නොදන්නා අහිංසක දරුවකුගෙන් පහත් සතුටක් ලබාගන්නේ කුමන මනසකින්ද යන්න පිළිබඳව සමාජ කතිකාවක් ඇති කළ යුතුය.

අපගේ සංස්කෘතිය, අපගේ සභ්‍යත්වය තුළ මෙරට වැඩිහිටියන්, එසේත් නැත්නම් ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වූ බොහෝ උප සංස්කෘතීන් මෙන්ම ගුණාංග ඇත. එම ගුණාංග පිළිබඳව මුළු මහත් ලෝකයාම කතාබහ කරන අතර එය ඇගයීමටද ලක් වෙයි. ඒ නිසාවෙන්ම බොහෝ විදේශිකයෝ මෙරට සංස්කෘතිය වැලඳ ගනිති.

සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ වැඩිහිටියන් හෝ විශේෂයෙන්ම දෙමාපියන් සමග තරුණ පුද්ගලයන් මධුවිත පානය නොකරති. එලෙසම සිය පියා හෝ මව ඉදිරියේදී ද එසේ නොකරති. එය නුසුදුසු ක්‍රියාවක් ලෙස සලකන සිරිතක් පැවතිණි.

එවැනි සංස්කෘතියකට හිමිකම් කියන ඉතිහාසයක් ඇති අප සමාජය තුළ වැඩිහිටියන් සිව්දෙනකු එක්ව මධුවිත සප්පායම් වන ස්ථානයක කුඩා දරුවකු තබාගෙන ඔහුට ඒවා ‍පොවමින් මත්වන කුඩා දරුවාගෙන් විනෝදයක් ලබන අයුරු දකින්නට මේ බෞද්ධ රටේ මහා ඉතිහාසයකට උරුමකම් කියන රටවැසියන් වන අපට සිදු වී ඇත. මේ විපාකය, විනාශය පිළිබඳව සොයා බලා එයට පිළියම් යෙදීමට අප සියලු දෙනා පෙළ ගැසිය යුතු කාලය පැමිණ තිබේ.
දේශපාලනය පිළිබඳව පමණක් කතාබහ කරමින් අන්තගාමී වී ඇති බොහෝ දේශපාලකයන් තම බලය සහ පැවැත්ම පමණක් ගැන සිතමින් සමාජ සංස්කෘතිය රැක ගැනීම වෙනුවෙන් කැපකිරීමක් නොකරන්නේ නම් මෙරට මුතුන් මිත්තන් ආරක්ෂා කළ අපේ හැදියාව විනය බල්ලාටම යනු ඇත.

හිරු ටීවී ඇතුළු මාධ්‍ය මගින් මෙම සිද්ධිය අනාවරණය කරමින් ප්‍රවෘත්තිය ජනගත කිරීම නිසා හැකි ඉක්මනින් මේ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ නිසා අප ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි තොරතුරු දිගින් දිගටම අනාවරණය කරන ලෙස අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා යැයි මීගලෑව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක විජේසූරිය මහතා ‘රිවිර’ ට පැවසීය.

මීගලෑව ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි උප ‍පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන්, ‍පොලිස් සැරයන් 33557 ඒකනායක, ‍පොලිස් කොස්තාපල් 35393 සමන්, ‍පොලිස් කොස්තාපල් 55057 වික්‍රමසිංහ, 75164 ප්‍රියදර්ශන සහ කාන්තා කොස්තාපල් 1604 කාන්ති ඇතුළු පිරිසක් මෙම වැටලීම සඳහා එක්වූහ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්