මේ මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදුදීම පිළිබඳ කතාව රටේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති මොහොතකි. හම්බන්තොට වරාය චීනයට බදු දෙන අවස්ථාවේදීද මෙවැනිම වාතාවරණයක් රටේ ඇති විය. අතීතයේ පටන්ම මෙරට ජන සමාජය තුළින්  පෞද්ගලීකරණයට සහ රාජ්‍ය දේපොළ විකිණීමට එරෙහිව නැගුණේ දැඩි විරෝධයකි. සුබසාධන රාජ්‍ය ක‍්‍රමයක් මත රාජ්‍ය අංශයට වැඩි නැඹුරුවක් ඇතිව ගොඩනැගුණු දේශපාලන පසුබිම නිසා මෙවැනි අවස්ථාවන්හිදී විරෝධතා නිර්මාණය වන්නට ඇති ඉඩකඩද  වැඩිය. පසුගිය 16 වැනිදා ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරු 40කගේ කණ්ඩායමක් මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමත් සමග මත්තල ගුවන්තොටුපොළ පිළිබඳ නැවතත් රටේ අවධානය යොමු විය.

පසුගිය රජයේ සංකල්පයකට අනුව ඉදි වූ  මත්තල ගුවන්තොටුපොළේ ඉදිකිරීම් ඇරඹුණේ 2009 වසරේදීය. එලෙස ඇරඹුණු ව්‍යාපෘතිය 2013 වසරේ මාර්තු 18 වැනිදා ජනතා අයිතියට පත් කරනු ලැබීය.  මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු වූයේ චීනයේ  චයිනා හාබර් ඉංජිනේරු සමාගමයි.  මුළු ගිවිසුම්ගත කොන්ත‍්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 20.9ක් ලෙස දැක්විණි. මෙහිදී  චීනයේ එක්සින් බැංකුව ඇමරිකානු ඩොලර් කෝටි 19 මුදලක් සහනදායී ණයක් ලෙස ලබා දී තිබූ අතර ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් දරනු ලැබීය.මෙම ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී  ජාතික උපායමාර්ගික අරමුණු දෙකක් ඉටුකර ගැනීමට මූලිකත්වය හිමිවිය. ඉන් ප‍්‍රමුඛ වූයේ ලෝකයේ ප‍්‍රධානතම වරායවල් 10 අතරට ගැනෙන විශාලතම වරායක් ලෙස ඉදිවුණු  හම්බන්තොට වරායට සහ ඒ ආශ‍්‍රිත ආයෝජන කලාපයට ගුවන්සේවා සැපයීම යන අරමුණය. ඊටත් අමතරව දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස භාවිතා කිරීම ය.

කෙසේවුවද  එවක විපක්ෂය වූ  එක්සත් ජාතික පක්ෂය මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම දැක්වූයේ දැඩි විරෝධයකි. ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළවල් රටට බරක්ය යන මතය සමාජගත කරන්නට ඔවුන් ගත්තේ දැඩි වෙහෙසකි. එසේම ඔවුන් ආණ්ඩු බලය ලබාගත් සැනින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කොටසක වී ගබඩා කරන්නට කටයුතු කළේ ගුවන්තොටුපොළ පිළිබඳව ඔවුන් තුළ තිබූ විරෝධය පිට දමමිනි. එම අවස්ථාවේ රජයට විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විරෝධයක් පැනනැගුණේ රජයේ කාර්යභාරය පිළිබඳව ප‍්‍රශ්නාර්ථයක්ද මතු කරමිනි. රජයේ වගකීම ගුවන්තොටුපොළක වී ගබඩා කිරීමද ? එසේ නැතිනම් එය ඵලදායි ලෙස සංවර්ධනය කිරීමද යන ගැටලූව එම අවස්ථාවේ මතු විය. මේ තත්ත්වය මත වත්මන් රජය ගුවන්තොටුපොළේ ආරම්භයේ සිට සිදුවූ පාඩුව සංඛ්‍යාලේඛන ඔස්සේ රටට පෙන්වන්නට පටන් ගත්තේ එය සංවර්ධනය කරන්නට කිසිදු උත්සාහයක් නොගනිමිනි. අවසානයේ සිදුවූයේ එය ඉන්දියාවට බදු දෙන්නට තීරණය කිරීමයි.

එතැන් පටන් රජයේ එම තීරණයට එරෙහිව විරෝධතා ඇරඹුණු අතර පසුගිය වසරේ ඒකාබද්ධ විපක්ෂය හම්බන්තොට සංවිධානය කළ විරෝධතාවකදී පුද්ගලයින් 28 දෙනකු අත්අඩංගුවට පත්විය. ඒකාබද්ධයේ මන්ත‍්‍රීන් හතළිස් දෙනකුගේ කණ්ඩායම පසුගිය 16 වැනිදා රහසේම මත්තල ගුවන්තොටුපොළ බලා පිටත් වූයේද එහි වත්මන් තත්ත්වය සොයා බැලීමටය. ප‍්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද අලූත්ගමගේ යන මන්ත‍්‍රීවරු මෙම චාරිකාව සංවිධානය කළ අතර මෙම ගමනට පහළොස්දෙනකුගෙන් පමණ සමන්විත මාධ්‍ය කණ්ඩායමක්ද එක්ව සිටියහ. කෙසේ වුවද මත්තල ගුවන්තොටට මන්ත‍්‍රීවරුන්ට පමණක් ඇතුළුවීමට ඉඩදී මාධ්‍යවේදීන් හට ඇතුළුවීමට ඉඩ නොදීම පිළිබඳව ඒකාබද්ධයේ මන්ත‍්‍රී කණ්ඩායම දැක්වූයේ විරෝධයකි. අනතුරුව කෙසේ හෝ මාධ්‍යවේදීන් හටත් ගුවන් තොටුපොළට ඇතුළු වීමට අවස්ථාව හිමිවිය. මෙදින සිදු වූ අනෙක් විශේෂ සිදුවීම වූයේ අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබෑමට නොහැකි වූ ගුවන් යානා දෙකක් මත්තලට ගොඩබා තිබීමයි.

එම අවස්ථාවේ ගුවන්තොටුපොළේ සේවකයින් සමග ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරු කතාබහ කළ අතර එහිදී සේවකයින් වත්මන් රජය ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්  දක්වන ආකල්පය පිළිබඳව දැක්වූයේ  විරෝධයකි. ඔවුන් එහිදී මතුකළේ ලංකාවට පාඩු ගෙනදෙන මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පමණක් වැදගත් වන්නේ කෙසේද යන ගැටලූවයි. මෙම ගුවන්තොටේ ස්ථානීය වැදගත්කමක් නැතිනම් ඉන්දියාව එය බදු ගන්නේ කුමන අරමුණකින්ද යන්න පිළිබඳව ඔවුන් ප‍්‍රශ්න කරයි. තවද මත්තලට පැමිණෙන ගුවන්යානාවලට මොනරුන් සහ අනෙකුත් කුරුල්ලන්ගෙන් සිදුවන අවහිරයන් පිළිබඳ එල්ලවන චෝදනාද එහි සේවකයෝ ප‍්‍රතික්ෂේප කළහ.

එහිදී හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී   චමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පවසා සිටියේ මත්තල ගුවන්තොටුපොළ රටට වැඩක් නැති ව්‍යාපෘතියක්  නම් හිඟුරක්ගොඩ සහ වැල්ලවායේ ගුවන්තොටුපොළ සෑදීමට මේ රජය මුල්ගල තැබුවේ කුමන පදනමකින්ද යන්නයි. වත්මන් රජය පැමිණෙන විටත් මත්තලට ගුවන් යානා පැමිණි බවත් දෛනිකව පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් ගමන පවා නැවත්වීමට කටයුතු කළ ආකාරය එහිදී සාකච්ජා විය. අනතුරුව මන්ත‍්‍රී පිරිස මාධ්‍යවේදීන් සමග පැමිණියේ එහි වී ගබඩා කළ බහලූම් පර්යන්තය වෙතයි.  එහි දැන් වී නැතත් එම පර්යන්තය ජරාවාස වී ඇති අයුරු දුටු ඒකාබද්ධයේ ඇතැම් මන්ත‍්‍රීවරු ඔළුවේ අත ගසා ගත්හ.

එතැනින් ගුවන්යානා ඉන්ධන ගබඩාව පරික්ෂා කරන්නට පිරිස පැමිණි අතර ඊට ටික වෙලාවකට පෙර කටුනායකින් හරවා එවූ ගුවන් යානා දෙකට  අවශ්‍ය වූ  ඉන්ධන ලීටර් දාහත්දහසක් පමණ ලබාදීමටත් ගුවන්තොටුපොළ කටයුතු කර තිබිණි. යම් හෙයකින් මත්තල ගුවන්තොට නොතිබුණා නම් එම ගුවන් යානාද හරවා යවනු ඇත්තේ ඉන්දියාවටය.

එසේ වූවානම් අප වෙනම මුදලක් ඉන්දියාවට ගෙවිය යුතුය. එසේම එම ගුවන් යානාවලට ඉන්ධන සපයා ලබන ආදායමද අපට අහිමි වනු ඇත. මෙවැනි කරුණු එහිදී මන්ත‍්‍රීවරු ගුවන්තොටේ සේවකයින් සමග සාකච්ජා කළහ. එවිට එම සේවකයන් කියා සිටියේ එම තෙල් ගබඩා සංකීර්ණ පවා ඉන්දියානු තෙල් සමාගමට විකිණීමේ සූදානමක් ඇති බවයි. එම අරමුණ නිසාම එම ගබඩා ආදිය කිසිම නඩත්තුවක් නැතිව අත්හැර දමා ඇති ආකාරයක් පෙනෙන්නට තිබුණි. එසේම කටුනායක ගුවන්තොටුපොළට සේන්දු විය නොහැකි බෝයින් වර්ගයේ ලෝකයේ දැවැන්තම ගුවන් යානාවලට පවා මත්තලට ගොඩ බෑමේ හැකියාව ඇත. ඊට හොඳම නිදසුන පසුගිය අපේ‍්‍රල් මාසයේ ගොඩබෑ ලොව විශාලතම ගුවන්යානය වූ   ඇන්ටනොවු ්භ-225 යානයයි. මත්තල ගුවන්තොට නොතිබුණා නම් ලෝකයේ විශාලතම ගුවන් යානා ඇති සමාගම් කිසි දිනෙක ලංකාව තෝරා ගන්නේ නැති බවද එහි සේවකයෝ පැවසූහ.

එතැනින් නික්මුණු පිරිස පැමිණියේ ප‍්‍රධාන ගුවන්යානා මෙහෙයුම් කුලූන වෙතයි. එහිදී අනාවරණය වූ තවත් විශේෂම කාරණයක් වූයේ ගුවන්තොටුපොළට කිසිදු ගුවන්යානයක් නොපැමිණියද දෛනිකව ලක්ෂ පනහකට අධික ආදායමක් ගුවන්තොටුපොළ ලබන බවයි.මත්තලට ආසන්නයෙන් ගමන් ගන්නා විදෙස් ගුවන් යානා සම්බන්ධ  එයාර් ට‍්‍රැෆික් පාලනයෙන් මෙම ආදායම ලැබෙන බව එහි සේවකයෝ  පවසා සිටියහ.  ඊට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන දිනෙකත් ලක්ෂ පනහකට වැඩි ආදායමක් ලැබීමට හැකියාව ඇත්නම් අනාගත ආයෝජනයක් වන මෙම ගුවන්තොටුපොළ සංවර්ධනය කර ඵලදායි ලෙස ප‍්‍රයෝජනයට ගත නොහැක්කේ මන්ද යන ප‍්‍රශ්නය එහි සිටි සියලූ දෙනාටම දැනුණු හැඟීමයි.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු මන්ත‍්‍රී කණ්ඩායම  ගුවන්තොටුපොළ මගී පර්යන්තයේ සිට මාධ්‍යයට කරුණු දක්වමින් පවසා සිටියේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීම ජාතික අපරාධයක් බවයි. ඒකාබද්ධය 2018 වසරේ මේ ආකාරයට හම්බන්තොටට නිරීක්ෂණ චාරිකාවක් ආවා සේම 2014 වසරේ එජාපයද විපක්ෂය ලෙසින් හම්බන්තොටට නිරීක්ෂණ චාරිකාවක් ආවේය.  එජාපය එදා  මත්තලට දැක්වූ විරෝධාකල්පය නිසා ජනතා විරෝධයක්ද පැමිණියේය. මෙවර ඒකාබද්ධය එහි යන විට ජනතා විරෝධයක් පැමිණියේ නැත. ඒ පළාතේ ජනතාව එම භුමිය, දේපළ විදෙස් රටක් බදු ගන්නවාට කැමැති නැති බව පෙනෙන්නට තිබේ. ඒකාබද්ධ  විපක්ෂය චෝදනා කරන්නේ  මෙම ගුවන්තොටුපළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව ඒ සඳහා වෙන්කර තිබූ තවත් අක්කර 24000ක් ද අදාළ ඉන්දියානු සමාගමට ලබාදීමට රජය එකඟ වී ඇති බවකි. ඊට අමතරව තවත් අක්කර 40,000ක පමණ  ගුවන්තොටුපොළ  ආශ‍්‍රිත භූමිභාගයක් ආරක්ෂිත කලාපයක් ලෙසද  එම සමාගමට වෙන්කර දීමට රජය එකඟතාව පළකොට ඇති බවද  පැවසේ.

එක් පසෙකින් චීනය හම්බන්තොට වරායේ පාලනය ගෙන යද්දී අනෙක් පසින් ඉන්දියාව මත්තල ගුවන්තොටුපොළ පාලනය කරද්දී ඇතිවන තත්ත්වය කුමක් වනු ඇත්දැයි කියා යම් යම් නිගමනයන්ට එළැඹෙන්නට අපට දැන් හැකිය. ඉන්දියාව ගුවන්තොටුපොළේ අයිතිය ගතහොත් ඔවුන්ගේ ආරක්ෂක අංශ මෙරටට පැමිණ සිය දේපළ රැුකගැනීමට ඇති ඉඩකඩ වැඩිය. එය එසේ වන විට ඉන්දියාව සමග සීතල යුද්ධයක සිටින චීනයද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තව තවත් පියවර ගනු ඇත. ගුවන්තොට ආරම්භයේ අරමුණු කළ අපේක්ෂාවන්ට හාත්පසින් වෙනස් වූ අරමුණු මත මෙරට භූමියේ විදෙස් රාජ්‍යයන් සිය අණසක පතුරනු ඇත. මේ සියලූ කාරණා සලකා බැලූ විට  බලවත් රාජ්‍ය දෙකක බල අරගලය වෙනුවෙන් වසර 99කට  අපේ භූමිය පොර පිටියක් වනු ඇතිද යන සාධාරණ සැකය මේ අවස්ථාවේ රටේ ජනතාවගේ හිතට පිවිසීම වැළක්විය හැක්කක් නොවේ.
අයේෂ් ලියනගේ