ආණ්ඩුව මේ සැරසෙන්නේ ඉන්ධන මිල නිතර අඩු වැඩි කර වසර අවසානයේ අධික ලාභයක් ලැබීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නවතම ඉන්ධන මිල වැඩිවීම සාධාරණීකරණයට ආණ්ඩුව මිල සූත‍්‍රයක් ගැන පැවසුවද එවැනි සූත‍්‍රයක් දකින්නට හෝ නැතැයි හෙතෙම පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයා ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

”මේ ආකාරයෙන් මිල හැසිරවීම, මහා පරිමාන සිල්ලර වෙළඳ සමාගම් වැඩි ලාබයක් ලබාගැනීම සඳහා යොදන උපක‍්‍රමයකි. ආණ්ඩුව මේ ඉන්ධන මිල වැඩිකිරීම සිදුකල සූක්ෂෙම ආකාරයද ජනතාව නිරීක්ෂණය කල යුතුය. මුලින්ම ඉන්දීය තෙල් සමාගමට මිල වැඩිකිරීමට ඉඩ දී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පැරණි මිලටම විකුණයි. ටික දවසක් ගොස් ඉන්ධනවලට වැඩි මුදලක් ගෙවීමට ජනතාව හිත හදාගත් පසු ඛණිජ තෙල් සංස්ථාවේ මිලද වැඩිකරනු ලබයි. එක් වරම ඉන්ධන මිල වැඩිකිරීමට වඩා ඒ ආකාරයට වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනය කරගැනීමට ඔවුන් මාන බලයි. මේ සියල්ල කරනු ලබන්නේ ඉන්ධන මිල හැසිරවීම තුළීන් ජනතාව මහා පරිමාන සූරාකෑමකට ලක්කිරීමට බව පැහැදිලිය.

සති අටක කාලයක් ඇතුළත දෙවෙනි වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක් අපි අත්දකින පළමු අවස්ථාව මෙය විය හැක. අද පෙට්‍රල් ලීටරයක මිල රු.145ක් වන අතර ඩීසල් ලීටරයක මිල රු. 118 ක් වේ. බොරතෙල් බැරලයක අද දවසේ ලෝක මිල ඇමරිකානු ඩොලර් 74 ක් පමණ වේ. මීට අවුරුදු 10 කට පෙර 2008 දී, අද පවතින මිලට වඩා ‍බෙහෙවින්ම ඉහල මිලක් වූ ඇමරිකානු ඩොලර් 97 කට බොරතෙල් බැරලයක් මිලදී ගන්නා අවස්ථාවේදී පෙට්‍රල් ලීටරයක දේශීය මිල රුපියල් 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70ක් විය. අපේ ආණ්ඩුව රට පාලනය කළ අවුරුදු 09 ඇතුළත ලෝක බොරතෙල් මිල හැමදාම පැවතියේ ඉහල මට්ටමකය. මහ බැංකු වාර්තා වලින් පෙන්වා දෙන පරිදි 2005 නොවැම්බර් මාසයේදී මා මුල්වරට බලයට පැමිණෙන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73ක් විය. ඉන්පසු දිගටම එම මිල වැඩි වූ අතර අපේ පාලනයේ අවසන් අවුරුදු හතර වන 2011, 2012, 2013 හා 2014 යන වසර වලදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො. 109 කට වඩා වැඩි විය. එම නිසා බොරතෙල් බැරලයකට ඇ.ඩො. 74 ක් යනු අපේ ආණ්ඩුව රට පාලනය කළ සමයට වඩා බෙහෙවින්ම අඩු මිලකි.”