ලිතුවේනියා ජාතික පාපන්දු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා පාපන්දු බී කණ්ඩායම් අතර සුහද තරගයක් අද පස්වරු 6.30ට කොළඹ තුරඟ තරග ක‍්‍රීඩාපිටියේ දී පැවැත්වේ.

ශ‍්‍රී ලංකා බී කණ්ඩායමේ නායකත්වය බණ්ඩාර වරකාගොඩ විසින් මෙහෙයවන අතර දිවයිනේ ප‍්‍රදේශ බොහොමයක් නියෝජනය වන පරිදි කනිෂ්ට පාපන්දු ක‍්‍රීඩකයන් මේ සඳහා සහභාගි කරලීමට පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත.

ඉකුත් 9 වැනිදා මෙම ක‍්‍රීඩාංගනයේදීම පැවැති සුහද පාපන්දු තරගයේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ප‍්‍රබල ලිතුවේනියානු කණ්ඩායම හමුවේ මැනවින් ක‍්‍රීඩාකරන අතර කණ්ඩායම් දෙකම ගෝල නොලබා තරගය නිමාවිය.

වසර 2කට පසුව අන්තර්ජාතික මට්ටමේ තරගයකට සහභාගි වූ ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉතා උසස් මට්ටමින් ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව අංක 126 පසුවන ලිතුවේනියා පාපන්දු කණ්ඩායම හමුවේ මෙලෙස දක්ෂතා දැක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම 200 වන ස්ථානයේ පසුවේ.

මේ වනවිට ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ජපානයට පිටත්ව ගොස් ඇති අතර ජපානයේ ජාතික කණ්ඩායම සමඟ පුහුණු තරගයට සහභාගි වේ.

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්