කොළඹ නාගරික මන්ත‍්‍රී කි‍්‍රෂ්ණ පිල්ලෙයි තිරුබානන්දන් මහතා ඝාතනය කරන ලද්දේ හිටපු කොටි සාමාජිකයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඔහු මේ වනවිට පාතාලයේ කුලී ඝාතකයකු ලෙස ද කටයුතු කරමින් සිටියි.

ඉහත ඡයාරූපයේ සිටින්නේ මන්ත‍්‍රී ඝාතකයා ලෙස සැළකෙන කෙනඩි නොහොත් බුම්මා නමැති සැකකරුය.

ඊයේ උදෑසන පිටකොටුවේ පලතුරු කඩයක සිදුවූ නාගරික මන්ත‍්‍රීවරයාගේ ඝාතනය සහ පෙරදින රාත‍්‍රියේ ජම්පටාවිදීයේ සිදුවූ ද්විත්ව ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට ද පොලීසිය විශ්වාස කරයි.

රිවිර ඉරිදා සංග‍්‍රහය විසින් පසුගිය සතියේදී පළකරන ලද “අම්මලා පුතාලා ගෑනු මිනිස්සු ලේ ඉව හොයන කොළඹ පාතාලේ නරුම සෙල්ලම්” ලිපියේ සැකකරු පිළිබද මෙලෙස දැක්වෙයි.

“චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරියව සිටියදී කොළඹ පුරහල් භූමියේ පැවැති ජනාධිපතිවරණ රැලියට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිටුපසද ඔහු සිටි බව එකල කියැවිණි. LTTEයේ අවි ප්‍රවාහනය කරන්නෙක් බව ද සඳහන් වන පූකුඩිකන්නාගේ නිවසේ සඟවා තිබි 2007 වසරේදී ත්‍රස්තවාදීන්ගේ අවි තොගයක්ද ආරක්ෂක අංශ සොයගෙනද තිබුණේය. රීගන් සහ පූකුඩින්නා අතර හිතවත්කම ගොඩනැගෙන්නේ බන්ධනාගාරයේදීය. දෙදෙනාම කළේ මත්කුඩු ජාවාරමය. ඒ වන විට පූකුඩිකන්නා සිටියේ බන්ධනාගාරගතවය. ඒ මත්කුඩු තොගයක් සමග ‍පොලිසියට හසුවය.

තමන්ව ‍පොලිසියට හසුවන්නේ සෙල්වි ‍පොලිසියට ඔත්තුවක් දීම නිසා බව පූකුඩිකන්නා තදින්ම විශ්වාස කළේය. ඒ තරහත් රීගන් ඝාතනයත් මුල්කර ගනිමින් සෙල්විගෙන් පළිගැනීමට ඔහු කල්පනා කරන්නේ ලෙයට ලෙයය. ඒ සඳහා ඔහු තෝරාගන්නේ කෙනඩිවය. ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් කෙනඩි පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙකි. වමත් දකුණත් භේදයකින් තොරව ඕනෑම අතකින් වෙඩි තැබිමට සුවිශේෂී හැකියාවක් ඇති කෙනඩි අවසන් යුද සමයේදී හමුදාවට එරෙහිව සටන් කර තිබුණේ චාල්ස් ඇන්තනී බළකායේය. 1987 වසරේ මැයි 03 වෙනිදා කොළඹ ජම්පටා වීදියේදී උපත ලබා හැදී වැඩුණු කෙනඩි අධ්‍යාපනය ලැබුවේද කොච්චිකඩේ පැත්තේ පිහිටි පාසලකය. ඒ අටවැනි පන්තිය දක්වා පමණි. ඔහු LTTE සාමාජිකයෙක් බවට පත්වන්නේ 2003 වසරේදීය.   එජාප ආණ්ඩුව LTTEය සමග 2002 වසරේ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමෙන් පසු දකුණේ වැසියන්ට නිදහසේ උතුරට යන්නට ලැබුණු අවස්ථාවේදී මාළු වෙළෙන්දෙක් සමග රැකියාවක් සොයා  වන්නියට  ගිය කෙනඩි එහිදී LTTEයට එක්වූ බව කියති.

යුද්ධය නිමා වන විට හමුදාවට භාරවුණු සිය දහස් ගණන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර කෙනඩිද සිටියේය. කෙනඩි හමුදාවට භාර වූ දිනය ලෙස සැලකෙන්නේ 2009 මැයි 14 වෙනිදාය. වසර තුනක් තිස්සේ ඔහු පුනරුත්ථාපන කඳවුරුවල කාලය ගත කර නිදහස ලබන්නේ බූස්ස කඳවුරේ සිටය.

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජී ද එකල රඳවා සිටියේ බූස්සේය. කෙනඩි සහ සුජී ඒ කාලය තුළ හොඳ මිතුරන් බවට පත්ව සිටියේය. කඳවුරේදී කෙනඩියේ වුවමනාඑපාකම් ගැන පවා සොයා බැලුවේ සුජීය. ඒ මිතුදම කෙනඩි නිදහස ලබා පැමිණි පසුත් දුරකථනය ඔස්සේ පැවතුණේය.

නිදහස ලබා කෙනඩි කෙළින්ම එන්නේ ජම්පටාහි පිහිටි සිය නිවසටය. කෙනඩිගේ පැමිණීම ඔහුගේ මව සිතුවේ පවුලට විශාල ශක්තියක් ලෙසිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, සෙල්විගේ පාතාල තර්ජනයෙන් කෙනඩිගේ පවු‍ලේ ඉරණම විසඳෙන තැනට පත්වෙමින් තිබුණූ නිසාය.”

ගයාන් කුමාර වීරසිංහ