කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා සංස්කෘතික වැඩසටහන් සතිපතා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු යොද ඇත.

මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ ආකේඩ් හි දි පැවැත්වේ. එමෙන්ම මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව ගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මේ සඳහා ඇතුළත් කොට තිබෙ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබා දෙයි. සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මේ ද අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ මේ වැඩසටහන ආරම්භයක් පමනක් බවත් ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවත් ය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජෙනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වැඩසටනහට මේ වන විටත් යහට්පත් ප්‍රතිචාර බොහෝ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති බව ය.

එමෙන්ම ආකේඩ් සහ නිදහස් චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙය පැවැත්වෙන බව කී කුලසූරිය මහතා ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බව ප්‍රකාශ කළේය.

පැතුම් වික‍්‍රමරත්න