රනිල්- මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළුදිය පහ වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මැතිවරණවලට බිය නැත්නම් අලුත් ක්‍රමය හෝ පැරැණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමැති ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණය පවත්වා පෙන්වන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බවත් රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී ඊයේ (08) පැවැති ජනහමුවක් අමතමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද රට පාලනය කරන්නේ අපේ රටේ ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම ආණ්ඩුව බවට කතා දෙකක් නැහැ. මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු තුනක් යනකොට රට හැමපැත්තකින්ම විනාශ වුණා. එදා ඒ කිව්ව යහපාලනය අද ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් බේරෙන්න අරගෙන. ගිය පාර පළාත් පාලන ඡන්දෙදි දීපු අමතක නොවන පාඩම මේ පාර අලුත් වටයකින් ආණ්ඩුවට උගන්වන්න අපි සූදානම්. “