ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මාස පහකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාරය තුළ සිටිමින් සිදුකළ ව්‍යාපාර ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මේ මස 05 වැනිදා සිට තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ. පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවා තිබුණද බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් මහතා විවිධ උපක්‍රම භාවිත කරමින් සිය ව්‍යාපාර කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවත් ඒ සඳහා යොදාගත් ජංගම දුරකථනද මේ වන විට සොයාගෙන ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ජංගම දුරකථනවල දත්ත විශේෂ පරීක්ෂාවකට ලක් කර අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාරයේ සිටිමින් සිදු කළ ව්‍යාපාර ගනුදෙනු මොනවාද යන්න පිළිබඳ හෙළිදරව් කර ගැනීමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඉෂාර රත්නකාර