රජයේ ඉහළ පෙළේ කැබිනට්  අමාත්‍ය ධුර කිහිපයක්, ඉදිරි දින කිහිපය තුළ සංශෝධනය කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරී හා කාර්ය සාධනය අතින් දුර්වලතා පෙන්නුම් කළ අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ ධුරයන් මෙසේ සංශෝධනය වීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යවරුන් මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් අමාත්‍යවරුන්ද සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම කැබිනට් සංශෝධනයන් පිළිබඳව අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර  දැනටමත් යම් එකඟතාවක්  ඇති වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව දෙදෙනා අතර තවත් තීරණාත්මක සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිත බවත්  වාර්තා වේ.

මෙසේ අමාත්‍ය ධුරය සංශෝධනයට ලක්වන ශ‍්‍රීලනිප අමාත්‍යවරයකු එම සංශෝධනයෙන් පසුව විපක්ෂයට එක්වීමේ සූදානමකද සිටින බවට තොරතුරු වාර්තා වේ.  මෙම සංශෝධනයන්ට  සමගාමීව නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයකද වෙනසක් සිදුවිය හැකි බවටද වාර්තා වේ.

පැතුම් වික්‍රමරත්න