කොටි නැගිටිය යුතු බව කියූ විජේකලාට අවසානයේ ඇමැති ධුරයත් අහිමි විය. දැන් විජේකලාගේ මන්ත්‍රීධුරයත් ඇත්තේ අවදානමකය. ඉදිරියට ඇයට තවත් නීතිමය ප්‍රශ්නවලටත් මුහුණ දීමට සිදුවනු ඇත. ඇය කළේ එසේ මෙසේ ප්‍රකාශයක් නොවේ. ඇය කතා කරන්නේ මේ බිමේ ජීවත් වූ මිනිසුන් සිය දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයක් පණ ගන්නවන්නටය. එසේ කතා කිරීම පවා සමස්ත සමාජයටම එල්ල කරන ත්‍රස්තවාදී ප්‍රහාරයකට සමානය. මෙතැනදී සියලුදෙනාම එකතු වී විජේකලා පාගා නැත්තට නැති කිරීමට වඩා කළ යුතු දෙයක් තිබේ. එනම් බයක් සැකක් නැතිව මේ රටේ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නට ප්‍රසිද්ධියේ ඔවුන් පොලඹවන හේතුව කුමක්දැයි සෙවීමය.

විජේකලා යනු අපිට පෙනෙන ඇහෙන චරිතයක් පමණි. උතුරු නැගෙනහිර කැරකෙන ඇතැම් කොටි සෙවනැලි අපිට පේන්නේ හරි අඩුවෙනි. විජේකලාලාට ත්‍රස්තවාදී ප්‍රකාශ කරන්නට ධෛර්යය එන්නට ඒ සෙවනැලි බලපාන බව අපට දැන් පෙනෙන්නට තිබේ. පසුගියදා උතුරේ ස්ථාන ගණනාවකදී කළු කොටි සමරු ප්‍රසිද්ධියේ තිබූ බව අසන්නට ලැබුණි. යාපනය මනිපායි හි වීදි සංචාරය කළ පෙරහැරකදී ඊළාම් සිතියම් ප්‍රදර්ශනය කොට තිබුණි. ඊට පෙර ක්ලේමෝ බෝම්බ ඇතුළු යුධ උපකරණ ගණනාවක්ද හසුවිය. යාපනය විශ්ව විද්‍යාලයට දකුණින් ගිය සිසුන්ට පහර දුන්නේය. යාපනය විශ්ව විද්‍යාලය තුළ පවා කොටි සැමරුම් සැමරීය. මේවා සියල්ල තනි තනි සිද්ධි ලෙස තවදුරටත් සැලකිය යුතුද ?
පසුගිය කාලයේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් වැනි නියෝජිතයින් ජන සංහාර සතිය නමින් සංවිධානය කළ වැඩසටහන ඔස්සේ ඔවුන් අරමුණු කළේ මේ රටේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බව ලෝකයට හඬගා කියන්නටය. එහිදී මියගිය පිරිස් සමරනවාට අමතරව සිදුවූයේ යුද්ධය අවසන් කළ නායකයින්ගේ අනුරූවලට සෙරෙප්පුවලින් පහරදෙමින් ඒවා පුළුස්සා විරෝධය පළ කිරීමය. ඒවා වෛරීසහගතව සහ යම් යම් අන්තවාදී පාර්ශ්වවල පෙලඹවීම් මත සිදුවූ බව පැහැදිලිවම දකින්නට හැකිවිය. අවාසනාව නම් ඒවා මේ රජයේ ඇතැම් මැති ඇමැතිවරු පවා අනුමත කිරීමය.

මේ රජයට බෙදුම්වාදයට එරෙහිව පැහැදිලි අදහසක් නැති බව පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූ මෙවන් සිදුවීම් ඔස්සේ සක්සුදක් සේ පැහැදිලි වුණි. වසර තිහක් රට ලේ විලේ ගිල්වූ ත්‍රස්තවාදය අවසන් කොට වසර දහයක් ගත වීමටත් මත්තෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල කොටි සෙවනැලි නැවත නැවතත් හොල්මන් කිරීමේ වගකීම රජය භාරගත යුතුය. පසුගිය කාලය පුරාවට අපට දකින්නට ලැබුණේ දහස් ගණනකගේ ජීවිත පූජාකොට ලබාගත් යුද ජයග්‍රහණයට නිගා කළ ප්‍රකාශයන්ය. ආණ්ඩුවේ ඇතැමුන් පවා එකී ජයග්‍රහණයන් හෑල්ලුවට ලක් කළේ මැරිලා ඉපදුණු මිනිස්සු වාගේය. අනෙක් පසින් රණවිරුවන්ට ලැබුවේ හොඳ කලදසාවක් නොවේ. රටේ බුද්ධි අංශ නිලධාරීන්ට පවා සිර දඬුවම් විඳින්නට සිදුවිය. අවසානයේ සිදුවූයේ රටේ ත්‍රිවිධ හමුදාවට කොන්ද කෙලින් තබාගෙන තම ගෞරවය රැකගන්නටවත් අවස්ථාවක් නැති වීමයි. මොන රජය පත් වුවද, මොන පාලකයා පත් වුවද මේ රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය රැකගන්නට ඔවුන් කැපවිය යුතුය. ඒකීයභාවයක් නැති තැනක රටකට රාජ්‍යයකට පැවැත්මක් නැත. ඒකීයභාවය රැකගන්නට නම් පළමු තැන දිය යුත්තේ ජාතික ආරක්ෂාවටය. විජයකලාලාගේ කටින් පනින්නේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජනයයි. එනිසා ආණ්ඩු කරවන්නන් හඳුනාගත යුත්තේ විජයකලාලාගේ කතා පිටුපස තිබෙන අනතුරය. ඒ හෙට උපදින දරුවාටත් මරණ බියක් නැති ඒකීය රටක් අවශ්‍ය නිසාය.