හිට්ලර් කතාව සමාජ මාධ්‍යවල මේ වන විට ප‍්‍රකටය. එය  දේශපාලන වේදිකාවේත් වැඩි වැඩියෙන් කතා බහට ලක්වෙමින් තිබේ. මේ හිට්ලර් කතාව කරළියට එන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දාය. එදින  පැවැති  සාංඝික දානයේදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන්  ගෝඨාභය රාජපක්ෂ අරබයා  කළ අනුශාසනාවේදී මේ කතාව එළියට ආවේය.

බොහෝ දෙනෙක් මෙය  ආන්දෝලනාත්මක කතාවක් කරගන්නට උත්සාහ ගත්තේ අනුශාසනාවේ හිට්ලර්ගේ නම ගෑවී තිබූ බව කියමිනි. යහපාලන ආණ්ඩුවට හිතවත්  පිරිස රට ඒකාධිපති පාලකයකුගේ ග‍්‍රහණයට ගෙන යාමට උත්සාහ ගන්නා බවට චෝදනා කළහ.  එදා ප‍්‍රභාකරන් වැනි ම්ලේච්ජ ඒකාධිපති ත‍්‍රස්තවාදියකු දෙස  සංහිඳියාවෙන් බැලූ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, පක්ෂ හා නියෝජිතයෝ මෙවර ගෝඨාභයට එරෙහිව අවි අමෝරා ගත්හ. වෙඬරුවේ උපාලි අනුනාහිමියන් මාධ්‍යයට ප‍්‍රකාශයක් දෙමින් නැවත කීවේ තමා හිට්ලර් කෙනකු වීම ලෙස අර්ථවත් කළේ භයානක තත්ත්වයක් දක්වා රට යා යුතුය යන්න නොවන බවයි.  මේ රටේ ජනතාවට යහපතක් වන අයුරින් අණ සහ  බණ දෙකම ඇති වඩා යහපත් සමාජයක් බිහි කළ යුතු බවයි.

සිංහල  බෞද්ධ පිළිගැනීම් සමග ගොඩනැගුණු සමාජයක හිමිනමකට තමාට රිසි ලෙස  අනුශාසනාවක් කිරීමේ නිදහසක් තිබිය යුතුය. එය අද ඊයෙක නොව අප අසා ඇති ඉතිහාසයේ  සිට සිදුවන දෙයකි. දැන් දැන් බෞද්ධ හිමිනමකට තම පෞද්ගලික අදහසක් වුවත් කියන්නට පෙර දෙසැරයක් හිතන්නට සිදුවී තිබේ. ඒ අන් යමක් නිසා නොව සමාජගත කරන අදහස් පවතින ක‍්‍රමයට ගැලපෙන්නේ නැත්නම් උන්වහන්සේට අභූත චෝදනා රැුසකටත් මුහුණදීමට සිදු වන නිසාය. හිමිනම විවේචනය කරන ඇතැම්මු  බෞද්ධ ආගමට වී ඇති වින්නැහිය විග‍්‍රහ කරති. එසේ වුවද ඔවුන්  පංචශීලය රකින්නටවත්  බෞද්ධ දර්ශනය හෝ සමාජ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට වෙර දරන්නන් නොවන බවත් පැහැදිලිය.

දැන් ස්වාමීන්වහන්සේගේ මුහුණට හිට්ලර්ගේ රුව එකතුකොට, වටාපතට ස්වස්තිකය එකතුකොට සෑදු ජායාරූප මුහුණුපොතේ සංසරණය කිරීමට තරම් ඇතැම් පිරිස් පහතට වැටී ඇත. මේවා සැලසුම්සහගතව පහර ගැසීම සඳහාම සිදුවන ක‍්‍රියා බව පෙනෙන්නට තිබේ. පසුගිය දවසක  කිලිනොච්චියේ කකුල් හතරේ කොටියකුට අමානුෂික වද දී මරා දැමුවේ ගම් වැසියන් පිරිසකි. ඒ ඔවුන්ට ආ තර්ජනයට දැක්වූ ප‍්‍රතිචාරයයි. ඊට පසුදාම ඔඞ්ඩුසුඩාන්වලින් හමුවූයේ කකුල් දෙකේ කොටින්ගේ රිමෝට් ක්ලේමෝ, ඊලාම් කොඩි හා කොටි නිල ඇඳුම්ය. මේවාට මේ රජය දක්වන ප‍්‍රතිචාරය කුමක්ද ? ඒවායේ ඇත්තක් තිබේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම සියලූ දෙනාටම වටිනා බව අපි පිළිගනිමු.

ඒ නිසා වෙඬරුවේ හිමිත්, හිට්ලර් කතාවත්, සමාජ මාධ්‍යයේ හැසිරීමත්, ජාතික ආරක්ෂාවත් ගැන බලධාරීන්ගේ ඇස් ඇරිය යුතුය.