කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී දිවියකු අමානුෂික ලෙස ඝාතනය කරන ලද පුද්ගලයින් සම්බන්ධව ෆේස්බුක් සමාජ ජාලා සහ වෙබ් අඩවිවල පළවන විස්තර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර එම ඝාතකයින් හැකි ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් පී. සූරියබණ්ඩාර මහතා පැවැසීය.

මෙම දිවියාගේ ඝාතනය සම්බන්ධව සහ සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධව කිලිනොච්චිය අධිකරණයට අද කරුණු වාර්තා කළ බව ද හෙතෙම පැවැසීය.

දිවියාගේ ඝාතකයින් අත්අඩංගුට ගැනීම සඳහා පොලීසියේ සහයෝගය ලබාගන්නා බව දිවියාගේ මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියි.

සාලිය කුමාර ගුණසේකර


 

දිවියාගේ ඝාතකයින් අල්ලන්න දැල එලයි [Exclusive]

 

කිලිනොච්චිය ප්‍රදේශයේදී දැවැන්ත දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කල පිරිසට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි අධ්‍යක්ෂක ජනරාල් සී.සූරියබණ්ඩාර මහතා “රිවිර”ට පැවසීය.

කිලිනොච්චිය,අම්බල්කුලම් ප්‍රදේශයේදී මෙම දිවියා අද (21) ඝාතනයට ලක්විය.

මෙම දිවියා නිරතුරු ගම් වැදී ප්‍රදේශවාසීන්ට මහත් කරදර කරන බව පවසමින් මෙලෙස අමානුෂික අයුරින් ඝාතනය කර ඇත.දිවියා ඇල්ලීමට ගිය අවස්ථාවේදී ගම්වාසීන් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

අඩි හතක් පමණ දිගැති මෙම දිවියා ඇල්ලීමට වනජීවි නිළධාරීන් සහ පශු වෛද්‍යවරයෙකු අද පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී ගම්වාසීන් වනජීවි නිළධාරීන්ට පහරදීමට උත්සාහකර ඇත.

වනජීවි නිළධාරීන් ‍පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කැඳවාගෙන ඒමට ගිය අවස්ථාවේදී ගම්වාසීන් එකතුවී දිවියාට ‍පොලු මුගුරු සහ ගල් මුල් වලින් පහරදී ඝාතනය කර ඇත.

ගම්වාසීන් දිවියා මරා දැමීමෙන් පසු, සිරුරට නොයෙකුත් වද හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ ජාලා වබේ අඩවි වලට නිකුත් කර ඇත.

සාලිය කුමාර ගුණසේකර