සෙනසුරුගෙන් නිතර නිතර කරදර විපත් ඇති වෙතැයි වැඩි දෙනා තුළ බියක් පවතී. රාහු සම්බන්ධයෙන් ද පුද්ගලයින් තුළ එවැනි බියක් පවතී. එසේ වුවද රාහු හැම අවස්ථාවකදී අයහපත් හෝ අශුභදායක තත්ත්වයෙන් ජන්මියාට විපත් නොපමුණුවනු ඇත. රාහු සිටි ස්ථානය, දශාව, සංයෝග දෘෂ්ටි අනුව විපත් කරදර ඇතිකරයි. මෙවැනි දේ ‘අපල’ වශයෙන් හැඳින්වේ. අනෙකුත් ග්‍රහයින්ගෙන් ඇති කෙරෙන අපල උවදුරු සේම රාහුගෙන් ඇති කෙරෙන අයහපත වෙනුවෙන් යම් යම් ආකාරයේ පුද පූජා හා පිළිවෙත් ඈත අතීතයේ පටන්ම පවතී. එබැවින් මෙම රාහුගේ අපල සම්බන්ධයෙන් සෙතක් ශාන්තියක් සලසා ගන්නේ කෙසේදැයි විමසා බලමු.

රාහු නියෝජනය කරනු ලබන්නේ වැටකේ වෘක්ෂය. එය වෙනත් වෘක්ෂ මෙන් හර ගණයට අයත් නොවේ. මෙම වෘක්ෂයට ආවතේව කිරීම හෝ පිරිමැදීම වඩාත් යෝග්‍යය. යම් යම් ආකාරයේ පූජාවලදී වැටකේ කොළ භාවිතයට ගැනීම වඩාත් සුදුසුය. වැටකේ මල් යම් යම් පූජාවන් සඳහා යොදා ගැනීම යෝග්‍යය. රාහුගේ අපල තත්ත්වය පවත්නා පුද්ගලයින් පදිංචි ස්ථානයේ වැටකේ වවා ගැනීම සුදුසුවන අතර ඊට හිරිහැර කිරීම යෝග්‍ය නොවේ.
සාමාන්‍යයෙන් මැණික් පැලඳීම විවිධ පුද්ගලයින් විසින් ඉටු කරනු ලබන්නේ එමගින් ලැබෙන ගුණාත්මක භාවයට වඩා අලංකාරය සඳහාය. එහෙත් රාහුගේ අපල අවම කර ගැනීම සඳහා ගෝමේද වර්ගයට අයත් වූ මැණික් පැලඳීමෙන් යම් යහපතක් සිදු වේ. අපල දුරුවේ. මැණික් පැලඳීමේදී එය බෙහෙවින්ම ශරීරයට ස්පර්ශ විය යුතුය. එසේ වූ විට මැණික් පැලඳීමේ ගුණය නිසි තත්ත්වයෙන් අත්පත් කර ගැනීමට පිළිවන.

මල් පූජා කිරීමේ කාර්යයට ආගම් භේදයකින් තොරව වැඩි දෙනකු සහභාගි වන්නේ එමගින් මනසට යම් සතුටක් ලැබෙන අතර පුණ්‍යකර්මයක් හෙයිනි. ග්‍රහ අපල දුරකර ගැනීම සඳහා මල් පූජා කිරීම යෝග්‍ය වූ පිළිවෙතකි. රාහුගේ අපල සඳහා සුදුසු සුවඳවත් වැටකේ මල් විශේෂිත වන්නේ වැටකේ වෘක්ෂය රාහු නියෝජනය කරනු ලබන හෙයිනි.
රාහුගෙන් සිදුවන අපල සම්බන්ධයෙන් බලියාග පැවැත්වීම ඈත අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයකි. වඩාත් යෝග්‍ය වන්නේ නාග රාක්ෂ බලිය හා රාක්ෂ බලියයි. රාහුගේ ගමන නිසා සිදුවන අපල උවදුරු සඳහා අසුරගිරි රකුසු බලිය බෙහෙවින් යෝග්‍යය. රාහු වැටකේ හා වෙනත් සුදු මල් වර්ග නියෝජනය කරනු ලබන හෙයින් වැටකේ සහිත සුදුමලින් සකස්කරන ලද මල්බලි මගින්ද අපල දුරුවේ.

විවිධ ග්‍රහයින්ගේ අපලයන් දුරුකර ගැනීම සඳහා යම් යම් දේවල් යම් පුද්ගලයන් උදෙසා ප්‍රදානය කිරීමෙන් සෙතක් ශාන්තියක් ඇති කෙරේ. රාහුගේ අපල පවත්නා පුද්ගලයින් ලෝහයෙන් සකස් කරන ලද විවිධ භාණ්ඩ, නාගරූප, ඝන නූලෙන් සකස් කරන ලද නීල වර්ණයෙන් යුක්ත රෙදි, ගෝමේද වර්ගයට අයත් මැණික් කාලවර්ණයෙන් යුක්ත එළුවන් හා අශ්වයන් ත්‍යාග වශයෙන් ලබාදීම හෝ පූජාකිරීම වඩාත් යෝග්‍යය.
ඖෂධ ජලයෙන් ස්නානය කිරීමෙන් රෝග සුවවන බව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දක්වා ඇත. එමගින් යම් සෙතක් ශාන්තියක් ලැබෙන අතර අපල සම්බන්ධයෙන් ඖෂධ ජලය ස්නානය සඳහා වඩාත් යෝග්‍ය හෙයින් ඇත්දත්, ඊතණ, තල, කොළොන්, තම්බාගත් ජලය ස්නානය කිරීමයි.

දෙවියන් උදෙසා විවිධ පූජාවන් පැවැත්වීම අපල සම්බන්ධයෙන් යෝග්‍ය වූ පිළිවෙතකි. සිව දෙවියන් හා පාර්වතී වෙනුවෙන් පුද පූජා පැවත්වීම වඩාත් යෝග්‍යය. මෙම දෙවියන් වෙනුවෙන් නිතර වැටකේ මල් පූජා කරන්න. උක් සකුරු, සමන් පිච්ච, ඊතණ, එළකිරි පූජා කිරීම තුළින් රාහුගේ අපල දුරුකර ගැනීමට පිළිවන.
සෙත්කවි ගායනය කිරීම මගින් යම් සහනයක් ලබා ගැනීමට පිළිවන. මෙසේ සෙත් කවි ඔප්පු කිරීම කළ යුත්තේ චන්ද්‍රයා පුර පක්ෂයේ බලවත් වූ කාල සීමාවන් තුළය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් එමගින් සහනයක් ලබාගැනීම සඳහා විෂ්ණු, කතරගම දෙවියන් උදෙසා සෙත් කවි ගායනය තුළින් යම් සෙතක් ලබා ගැනීමට පිළිවන. මෙම සෙත් කවි ඔප්පු කරන විට ප්‍රතිග්‍රාහකයා එම ස්ථානයේ සිටීම වඩා වැදගත්ය. එමගින් ලැබෙන ශාන්තිය වැඩි කෙරේ.

විධිමත් ආකාරයෙන් සකස් කරගත් යන්ත්‍ර තුළින් වඩාත් උසස් ප්‍රතිඵලයන් අත්පත් කර ගැනීමට හැකියාව පවතී. මෙම යන්ත්‍ර සකස් කර ගන්නා තඹ තහඩු සඳහා යම් ප්‍රමාණයක් යකඩ මිශ්‍ර කිරීම වඩාත් සුදුසුය. රාහුගේ අපල සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ නාගර්ජනය යන්ත්‍රයයි. මෙම යන්ත්‍ර ශරීරයට ස්පර්ශ වන ආකාරයෙන් ගෙල පැලඳීම වඩාත් යෝග්‍යය. යන්ත්‍ර සකස් කිරීම හා පැලඳීම තම උපන් නැකතට සීහෙන ආකාරයෙන් සකස් කරගත යුතුය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් සුදු පැහැති තිර පූජාකිරීම වඩාත් සුදුසුය. මීට අමතරව සුදු මල්මාලා පූජා කිරීම යෝග්‍ය වන අතර ඒ සඳහා වැටකේ මල් කීපයක් හෝ යොදාගත යුතුය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් අනතුරුදායක කටයුතුවල නිරතවන විට ඒ සම්බන්ධයෙන් වඩාත් හොඳින් ප්‍රවේශම් විය යුතුය. විදුලි උපකරණ භාවිතයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි තාක්ෂණික දේවල්වලින් අනතුරු වැඩිවීමේ ප්‍රවණතාව වැඩි කෙරේ.

අභිසම්භිධාන හෝ ජිනපංජරය වැනි පිරිත් සූත්‍ර දිනපතා සජ්ජායනය මගින් හා දේව ස්තේ‍රාත්තර ගායනය තුළින් අපල දුරුකර ගැනීමට හැකියාව පවතී. අපල කාල පවත්නා කාල සීමාවන් තුළදී පාපකර්මයන්ගෙන් වැළකීම වඩාත් යෝග්‍ය වන අතර ආගම ධර්මය අනුව කටයුතු කරනු ලබන්නේ නම් එමගින් යම් සහනයක් අත්පත් කරගැනීමට පිළිවන.
ජලයේ වාසය කරනු ලබන සත්ත්වයන් වෙනුවෙන් උදේ කාලයේ ආහාර දීම වඩාත් යෝග්‍යය. එමගින් රාහු අපල දුරුකර ගැනීමට පිළිවන.

ප්‍රේමදාස කළුතන්තිරි