ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ අතපය ගැටගසා මරා දමන ලද වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මල සිරුරක් අද පෙරවරුවේ ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

මල සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් අද සවස පැවැත්වීමට නියමිතව තිබුණි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සතුව තිබූ රුපියල් ලක්ෂ තුනකට (3,00000/-) ආසන්න වටිනාකමකින් යුත් කුරුදු තොගයක්ද සොරකම් කර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

මෙම ඝාතනය ඊයේ ප.ව 6.00 ත් අද අළුයම 6.00 ත් අතර සිදු වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නො.176 බී, කොරකීන, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචිව සිටි තොම්මයාහකුරු සෝමදාස (78) නැමැති අයයි.

ඝාතනයට ලක් වූ අය කුරුදු ඉඩමක හිමිකරුවෙකු බව සොයාගෙන තිබේ.

මල සිරුර තිබී ඇත්තේ නිවසේ කාමරයක පිහිටි ඇද මතය.

මියගිය අයගේ අත් දෙක රෙදි වලින් සහ කකුල් ලණු වලින් ගැටගසා තිබී ඇත. මුහුණ තුවායකින් හා සරමකින් ආවරණය කර තිබී ඇත.

මියගිය අය සිය නිවසේ තනිව ජීවත් ව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

කුරුදු සොරකම් කරන්නට පැමිණ නිවසේ හිමිකරුගේ අතපය බැද දැමීම මත මියගියේද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ජයකාන්ත ලියනගේ  –  අහුන්ගල්ල