පන්දු 25ක් තුළ අවසන් කඩුලු 5 ලකුණු 8කට දන් දුන් ශ්‍රී ලංකාව ලකුණු 226කින් පරදියි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ‍පෝට් ඔෆ් ස්පේන් හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට සත්කාරක කොදෙව් පිල පසුගිය ඉරිදා සමත් විය.

තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ ඉරිදා (10) තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් අතැතිව ලකුණු 277ක් රැස්කර ගැනීමේ අභියෝගයට මුහුණ දුන්නද එදින ශ්‍රී ලංකා පිල කඩුලු 7ම පූජා කොට ලකුණු 50ක් පමණක් රැස් කරමින් මෙම බරපතළ පරාජය භාරගෙන තිබිණි.

තවද එම අවසන් දිනයේ ශ්‍රී ලංකා පි‍ලේ අවසන් කඩුලු පහම පන්දු 25ක් තුළ ලකුණු 8ක් රැස් කරද්දී දැවී යාමද කැපී පෙනුණි.

ශ්‍රී ලංකා පි‍ලේ ඉනිම දෙකම වෙනුවෙන් ලකුණු 50 සීමාව ඉක්මවන්නට සමත් වූ එකම පිතිකරුවා බවට පත්වූ කුසල් මෙන්ඩිස් (102) සිය පස්වැනි ටෙස්ට් ශතකය දෙවැනි ඉනිමේදී වාර්තා කළේය.

කොදෙව් පිල වෙනුවෙන් පළමු ඉනිමේ නොදැවී ලකුණු 125ක් රැස්කොට ප්‍රතිවාදී පිතිකරුවන් පස්දෙනකු දවාගන්නට කඩුල්ල පිටුපස සිට උපකාර කොට තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ලකුණු සාරාංශය

  • කොදෙව් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 414
  • ශෂී ජේර්ජ් 44, ෂේන් ඩොර්විට් නොදැවී 125, ජේසන් ගෝල්ඩර් 40, දේවේන්ද්‍ර බිෂු 40
  • සුරංග ලක්මාල් 2/55, ළහිරු කුමාර 4/95
  • දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 223
  • කිරාන් පවල් 88, ජේසන් හෝල්ඩර් 39, ළහිරු කුමාර 3/40, රංගන හේරත් 2/59
  • ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලු දෙනාම දැවී 185
  • දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 31, කෙමා රොච් 2/34, ෂැනොන් ගේබ්රියල් 2/48, මිගුවල් කුම්න්ස් 3/39
  • දෙවැනි ඉනිම සියලු දෙනාම දැවී 226
  • කුසල් මෙන්ඩිස් 102, ඇන්ජලෝ මැතිව්ස් 31, දේවෙන්ද්‍ර බිෂු 3/48, රොස්ටන් ච්ෙස් 4/15