ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව 25 වැනි වරටත් නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහය සහිතව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේ පවත්වන ලද 45 වැනි අන්තර් පාසල් වයස් සීමා පිහිනුම් හා දිය පිමි තරගාවලියේදී සමස්ත බාලිකා ශූරතාව 20 වැනි වරටත් කන්ද උඩරටම රඳවා ගන්නට මහනුවර මහමායා බාලිකාවෝ සමත් වූහ.

මේ අතර එම සමස්ත බාලක ශූරතාව මෙවරද කොළඹ ශාන්ත ජෝශප් විදුහල දිනා ගන්නට සමත් වූයේ ඔවුන්ගේ 15 වැනි ජයග්‍රහණය සටහන් තබමිනි.

කෙසේ වුවත් මෙවර මහමායා බාලිකාවන්ට කොළඹ විශාඛා බාලිකාවන්ගෙන් ප්‍රබල තර්ජනයක් එල්ල වූ අතර එබැවින් ඔවුන්ගේ ජයග්‍රහණය ආරක්ෂා වී තිබුණේ ලකුණු 4ක වාසියක් සහිතවය.

දින පහක් තිස්සේ පවත්වන ලද මෙම තරගාවලියේදී නව තරග වාර්තා 28ක් බිහිවූ අතර බාලිකා ශූරතාව දිනූ මහනුවර මහමායා විදුහල ප්‍රසාද ලකුණු 527ක් දෙවැනි ස්ථානය හිමි කරගත් කොළඹ විශාඛා විදුහල ලකුණු 523ක් හා තෙවැනි ස්ථානය දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 274ක් වාර්තා කර තිබිණි.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමස්ත බාලක ශූරතාව දිනාගෙන තිබුණේ ප්‍රසාද ලකුණු 607ක් රැස් කරමිනි. කොළඹ ආනන්ද විදුහල ලකුණු 523ක් හා රාජකීය විදුහල ලකුණු 284 වශයෙන් වාර්තා කරමින් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත්හ.

මේ අතර බාලිකා දිය පිමි තරගාවලියේදී ලකුණු 119ක් ලබාගත් බිෂොප් විදුහල  ශූරතාව දිනාගනිද්දී ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය (97), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (34) දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගන්නට සමත් වූවාය.
බාලක දිය පිමි ශූරතාව ලකුණු 208ක් ලැබූ කොළඹ රාජකීය විදුහලට හිමිවෙද්දී තර්ස්ටන් විදුහල (39), ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල (31) දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කරගෙන තිබුණි.

සීවලී එදිරිවීර