ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 21 වැන්න තවත් දින හතරකින් එනම් ජුනි 14 වැනිදා රුසියාවේ සත්කාරය සහිතව ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් 32ක් සහභාගි වන මෙවර තරග රුසියාවේ ක්‍රීඩාංගණ 12කදී ජූලි 15 වැනිදා දක්වා පැවැත්වෙයි.
මූලික වටයේදී කණ්ඩායම් 32 කාණ්ඩ 8ක් යටතේ තරග වදින අතර දෙවැනි වටයේ සිට තරග පවත්වනු ලබන්නේ පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයටය.

ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක් ප්‍රදානය කරන අතර,    අනුශූරතාව සඳහා මිලියන 28ක්, තෙවැනි ස්ථානයට මිලියන 24ක්, සිව්වැනි ස්ථානයට මිලියන 22ක්, පස්වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා මිලියන 12 බැගින් හා 17 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වා මිලියන 8 බැගින් ප්‍රදානය කිරීමට නියමිතය.
මෙවර තරගාවලිය තරග 64කින් සමන්විතය. පළමු තරගයට සත්කාරක රුසියාව ජුනි 14 වැනිදා සහභාගි වන්නේ සෞදි අරාබිය සමගය.

සෑම කාණ්ඩයකම ජයග්‍රාහී කණ්ඩායමට හා අනුශූරතාව දිනූ කණ්ඩායමට පිළිමලුන් පිටු දැකීමේ දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.
පළමු තරගාවලිය 1930 වසරේ උරුගුවේහිදී පවත්වා ඇති අතර මේ වනවිට බ්‍රසීලය පස් වරක් ශූරතාව දිනාගෙන වැඩිම ගෞරව හිමි කරගෙන සිටියි.

ඉතාලිය හා ජර්මනිය ශූරතාව සිව්වරක් බැගින් දිනාගෙන ඇත.

භක්ති මෙන්ඩිස්