ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේදී සුසිකි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් බැද්දගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ නේවාසිකව පුහුණුව ලබමින් සිටිති. එම තරගාවලියට මුහුණ දීම සඳහා ක්‍රීඩකයන්ගේ සූදානමත් ඔවුන් ඒ වෙනුවෙන් පෙළගස්වන පිරිසගේ සැලසුම් පිළිබඳවත් විමසා බලන්නට පසුගියදා අප බැද්දගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයට ගියෙමු.
තරගාවලිය වෙනුවෙන් දැනට ක්‍රීඩකයන් 32ක් පුහුණුව ලබමින් සිටින අතර සංචාරයට සහභාගි කරගැනීමට නියමිතව ඇත්තේ ක්‍රීඩකයන් 23 දෙනකු පමණි. ඒ හැර තවත් ක්‍රීඩකයන් තිදෙනකු අතිරේක ක්‍රීඩකයන් ලෙස සූදානම් කර තැබිමටද සැලසුම් කර ඇත.

ජාතික පාපන්දු කණ්ඩායමේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බදුල්ලෙන් බිහිවූ පාපන්දු ක්‍රීඩකයකු වන මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලිද, උප සභාපතිවරයා ලෙස රෝහිත ප්‍රනාන්දු මහතාද කටයුතු කරති.

කණ්ඩායමේ කළමනාකරු ලෙස සුනිල් සෙනවීර මහතාද, ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් නිසාම් පාකිර් අලීද පත්ව සිටින අතර තාක්ෂණික පුහුණුකරු ලෙස ජපන් ජාතික සුසුකි චිකාසි හා දැල රකින්නන් පුහුණු කරන්නා ලෙස සම්පත් බුද්ධික බණ්ඩාරද පුහුණුකාර මණ්ඩලයට එක්ව සිටිති.

කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙස මුෂීන් අබ්දුල් බාසිත් කටයුතු කරන අතර ජපන් ජාතික ගුචී භාෂා පරිවර්තකයා ලෙස සහාය වෙයි. මෙවර ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 200 වැනි ස්ථානයේ රැඳී සිටිමිනි.  ශ්‍රී ලංකාවට වඩා පහළ ස්ථානයක පසුවෙමින් මෙම තරගාවලියට සහභාගි වන එකම රට වූ පාකිස්තානය පසුවන්නේ ලොව 203 වැනි ස්ථානයේය.

හත් වරක් ශූරතාව දිනා ඇති ඉන්දියාව 97 වැනි ස්ථානයේද, 2008 වසරේ ශූරතාව දිනූ මාලදිවයින 147 වැනි ස්ථානයේද රැඳී සිටිති. තවමත් ශූරතා දිනා නැති නේපාලයට ලෝකයේ 165 වැනි ස්ථානය හිමිව ඇති අතර භූතානය පසුවන්නේ 184 වැනි ස්ථානයේය.

ඒ හැරුණු විට 2003 වසරේ ශූරතාව දිනූ බංග්ලාදේශයටත්, 1995 වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකාවටත් පාපන්දු ලෝකයේ පිළිවෙළින් 197 වැනි ස්ථානය හා 200 වැනි ස්ථානය හිමිව ඇත.

ඇෆ්ගනිස්ථානය මෙම තරගාවලියට 2005 වසරේදී එක්ව 2013 වසරේ ශූරතාව දිනාගත්තද ඔවුන් 2015 වසරේදී දකුණු ආසියානු පාපන්දු සංගමයෙන් ඉවත් වී මධ්‍යම ආසියානු පාපන්දු සංගමයට එක්වීම නිසා මෙවර තරගාවලියට ඇෆ්ගනිස්ථානය සහභාගි නොවෙයි.

තරගාවලියේ කාලසටහන අනුව මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘බි’ කාණ්ඩයෙන් තරග වැදීමට සිදුව ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ස්ථානයන්හි රැඳී සිටින ඉන්දියාව හා මාලදිවයින සමගය.

මෙම තරගාවලියට අදාළව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අනුගමනය කළ වැඩපිළිවෙළ හා ක්‍රියාත්මක කරනු ලබන සැලසුම පිළිබඳව රිවිර දැනුවත් කිරීම සඳහා කණ්ඩායමේ කළමනාකාර සුනිල් සෙනවීර මහතා ඉදිරිපත් විය.
“මාව පහුගිය පෙබරවාරි මාසයේ ජාතික පි‍ලේ කළමනාකරු ලෙස තෝරාගත්තේ විධායක කමිටුවේ තීරණයක් උඩයි. ඒ අවස්ථාවෙම ප්‍රධාන පුහුණුකරු ලෙස පාකිර් අලී මහතාත් පත්වුණා. අපි දෙදෙනා දීර්ඝ කාලයක සිට මිතුරන් නිසා ජාතික පිල ගොඩනැගීම පහසු කාර්යයක් වුණා. ඒ නිසා දැනට පුහුණු කටයුතු සැලසුම් කළ පරිදි අඛණ්ඩව සිදු වෙනවා.”

සංචිතයට ක්‍රීඩකයන් තෝරාගැනීම සිදු කළේ මොන ආකාරයටද?
“මෙවර අපි ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදු කළේ නව ක්‍රමවේදයකටයි. ඒ අනුව තේරීම් පරීක්ෂණ සිදු කළේ කොටස් 6කින් යුක්තවයි. ඒ සෑම කාණ්ඩයක්ම දින 4ක් තිස්සේ නේවාසිකව රඳවාගෙන පුහුණුවක් ලබාදුන්නා. ඒ අතරෙදි අප ඔවුන්ගේ ශිල්පීය ක්‍රම තාක්ෂණික කුසලතා පිළිබඳව අවධානය යොමු කළා.”

දැන් මේ ජාතික සංචිතයේ පුහුණුවීම් කටයුතු මොන තත්ත්වයකද තියෙන්නේ?
“ඉතාමත් හොඳින් සැලසුම් කළ ආකාරයෙන් දැනට පුහුණු කටයුතු සිදුවෙනවා. මේ සංචිතයේ අවුරුදු 17ක හා අවුරුදු 18ක පාසල් ක්‍රීඩකයන් දෙදෙනෙක්ම ඉන්නවා. ඔවුන් දෙදෙනාම අති දක්ෂ පෙර පෙළ ක්‍රීඩකයන්. ඒ වගේම අවුරුදු 22න් පහළ ක්‍රීඩකයන් 14 දෙනෙක්ම සංචිතයට ඇතුළත්. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ අනාගතය අදට වඩා සුබදායක වෙයි කියලා.”

මේ ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදෙන්න ලබාදෙන පුහුණුවට අමතරව මොන වගේ ක්‍රියාමාර්ගද සකස් කරල තියෙන්නේ?
“දැන් අපි ලබන ජූලි 8 වැනිදා ලිතුවේනියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සමග ලංකාවේදී තරගයක් සංවිධානය කරල තියෙනවා. ජූලි 9 වැනිදා අපි ජපානයට යනවා නේවාසික පුහුණු වැඩමුළුවකට. එහෙදි අපි තරග 4කටත් සහභාගි වෙනවා. පස්සේ ජූලි 23 වැනිදා අපි කොරියාවට යනවා දින 8ක වැඩමුළුවකට. නැවතත් අපි ලංකාවට එන්නේ ජූලි 30 වැනිදායි.”

මේ සඳහා යන වියදම් දරන්නේ ශ්‍රී ලංකා රජයද?
“නැහැ. ජපන් සංචාරයේදී ජපන් පාපන්දු සංගමය සියලු වියදම් දරනවා. කොරියාව, කොරියානු සංචාරයේ වියදම් දරනවා. මේ රටවල් දෙකම අපට උපරිම සහයෝගයක් ලබාදෙනවා. අපේ කණ්ඩායමේ ඉන්න ජපන් ජාතික තාක්ෂණික පුහුණුකරුගේ සියලු වියදම් දරන්නේත් ජපන් පාපන්දු සංගමය විසිනුයි.”

අනතුරුව ක්‍රීඩකයන්ගේ කුසලතාවන් පිළිබඳ අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ ජාතික පුහුණුකරු පාකිර් අලී මහතාය.

සංචිතයේ ක්‍රීඩකයන් අතර මතභේද නැද්ද?
“කියන්න සතුටුයි. ඔවුන් අතර පුදුම සමගියක් තියෙනවා. සංචිතයේ ඉන්නවා යාපනයේ ක්‍රීඩකයන් දෙන්නෙක්, මඩකලපුවේ සහ මන්නාරමේ ක්‍රීඩකයන් දෙන්නෙක්. ඒ වගේම අවුරුදු 17ක් සහ අවුරුදු 19ක් වයසැති පාසල් ක්‍රීඩකයන් දෙන්නෙකුත් ඉන්නවා. මේ හැමෝම සහෝදරයෝ වගේ සතුටින් ඉන්නවා. ‍‍‍ජ්‍යෙෂ්ඨ, ආධුනික කියල බෙදීමක් ඇත්තෙම නැහැ. ඒලෙවල් කරන ක්‍රීඩකයා විවේක වෙලාවට ඕලෙවල් කරන ක්‍රීඩකයාට පාඩම් කියල දෙනවා. පාසල් යන ක්‍රීඩකයන්ට අතිරේක පන්තිවලට සහභාගි වෙන්න අපි අවසර ලබාදීලා තියෙනවා. ඒ නිසා අපි හැමෝම එක වෙලාවට කනව බොනවා, පුහුණු වෙනවා.”

කොහොම නමුත් අපිට මූලික වටයේදී හමුවෙන්නේ මේ තරගාවලියට සහභාගි වන හොඳම කණ්ඩායම් දෙකයි. පුළුවන්ද අපට යමක් කරන්න?
“මෙහෙමයි, අපි මේ ශූතාව දිනාගන්න යන ගමනක් ‍නෙවෙයි. මොකද පසුගිය කාලය තුළ අපි පාපන්දු ක්‍රීඩාවෙන් පහළටම වැටිලයි හිටියේ. ඒ නිසා අපට අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රබලයාට අභියෝග කරල ඉන්න තැනින් ටිකක් හෝ ඉහළට එන්නයි. ඒ නිසා අපි මූලික වටයේදී අපිට ඉන්දියාවයි, මාලදිවයිනයි මුණ ගැහීම ආශිර්වාදයක් කරගන්නවා.”

කොහොමද ඔබට සෙසු පිරිසෙන් ලැබෙන සහයෝගය?
“ඔව්, මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි වගේම රෝහිත ප්‍රනාන්දුත් නිතරම බැද්දගානට ඇවිත් අඩුපාඩු සොයා බලා අපගෙ අවශ්‍යතා ඉටු කරලා දෙනවා. ඒ වගේම පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා වගේම ‍ලේකම් ජස්වර් පවා අපට උපරිම සහයෝගයක් ලබාදෙනවා. ඒ හැමෝටම දැන් ඕනවෙලා තියෙන්නේ වැටිල ඉන්න වළෙන් ගොඩ එන්නයි. අපි සූදානම් වෙන්නෙ ඒ හැම දෙනාගෙම බලා‍පොරොත්තුව ඉටු කරන්නයි” පාකිර් අලි සිය අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනු ලැබුවේ එලෙසිනි.

සීවලී එදිරිවීර
ඡායාරූප-සජීව චින්තක කහඳගමගේ

Untitled-12Untitled-13