ගෙවුණු වසර කිහිපයේ මෙරට දේශපාලන වේදිකාවේ සේම ගමේ කඬේ පිලේද ප‍්‍රධාන මාතෘකාව බවට පත්වූයේ බැඳුම්කර වංචාව පිළිබඳ කතාවයි. බැඳුම්කර යනු කුමක්දැයි නොදන්නා නොදරුවාගේ මුවගින් පවා බැඳුම්කර මගඩිය වැනි වචන පිටවෙන්නේ ඒ තරමටම මේ මාතෘකාව මේ රටේ ආන්දෝලනාත්මක කතිකාවක් බවට පත්ව ඇති නිසයි. දැන් බැඳුම්කර කතාව වෙනස්ම පැත්තකට හැරී තිබෙන බව පෙනෙන්නට තිබේ. දැන් බැඳුම්කර ගනුදෙනු රටේ නීති සම්පාදනයේ මහ ගෙදර වන පාර්ලිමේන්තුවටම ඇවිල්ලාය. මැති ඇමැතිවරුන් 118 දෙනකු බැඳුම්කර ගනුදෙනුවලට පැටලී ඇති බවට කියවෙන ප‍්‍රවෘත්තිවලින් දේශපාලන වේදිකාව ගිනිගෙන ඇත.

දයාසිරි ජයසේකර ඇමැතිවරයා දාසයේ කණ්ඩායම සමග කඩාගෙන ආ සැනින් ඔහුට බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මිලියනයක චෙක්පතක් දුන් බවට චෝදනා එල්ල විය. අනතුරුව එම චෝදනාව පිළිගත් ඔහු පැවසුවේ බැඳුම්කරයෙන් සල්ලි ගත් තවත් 118ක් පාර්ලිමේන්තුවේ සිටින බවයි. අමාත්‍ය සරත් ෆොන්සේකාද තමන් හට ලක්ෂයක මුදලක් ලැබුණු බවත් ඒවා මැතිවරණ කටයුතු වෙනුවෙන් ඒ අවස්ථාවේම ලබාදුන් බවත් පැවසීය. එක් අතකින් ඒ චෝදනා ප‍්‍රතික්ෂේප නොකර එය පිළිගන්නට තරම් ඔවුන් අවංක වීම හොඳ ලක්ෂණයකි. නමුත් එතැන් පටන් ඉතුරු 118 කවුද කියා සොයාගැනීම බොහොම අමාරු වෙන බවනම් පෙනෙන්නට තිබුණි. බොහෝ  දෙනා වේදිකාවේ කෑ ගසන්නට වූයේ නම් හෙළිකරන්න කියාය. මාධ්‍ය දේශපාලකයින්ගෙන් ප‍්‍රශ්න ඇසුවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා කියන්නට වූයේ අපි සතයක්වත් ගත්තේ නෑ කියාය. සමහරු හිමින් සැරේ ලිස්සා යන බවත් පෙනුනි.

කෙසේ හෝ පසුගිය බ‍්‍රහස්පතින්දා තවත් ඇමැති නමක් බැඳුම්කර සල්ලි එක්ක ගෑ වුණේය. ඒ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ලබාදුන් වාර්තාව අනුව ඔහු අවස්ථා තුනකදී ලක්ෂ තිහක මුදලක් ලබාගෙන ඇති බව කියැවුණි. මේ හෙළිවීමත් සමග අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා කීවේ ඒ සල්ලි ඇලෝසියස්ගේ හෝ මෙන්ඩිස් සමාගමේ බව දන්නේ නම් තමා එය නොගන්නා බවයි. ඔහුට අනුව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ලක්ෂ ගණනින් මුදල් ආ හැටි ඔහු දන්නේ නැත. එය අප පිළිගත්තද , පිළි නොගත්තද තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ආ හැටි හෝ වියදම් වූ හැටි නොදන්නා දේශපාලකයින් මේ රටේ භාරධුර ඇමැතිකම් දරන්නේ කොහොමද යන ගැටලූව  ඕනෑම අයකුට මතුවීම පුදුමයක් නොවේ. සුජීව  සේනසිංහ  වංචාවට, දුෂණයට එරෙහිව ආණ්ඩු පෙරලෙන්නට කලින් වේදිකාව උඩදී ආවේගශීලි කතා පැවැත්වූ හැටි අපිට මතකය. එවන් තරුණ දේශපාලන චරිතයක් මෙවැනි ආන්දෝලනාත්මක ගනුදෙනුවක් හා සම්බන්ධවීම ඔස්සේ ඔහු වැනි තරුණන්ගේ අවේගකර කතා අසා වංචාවට දුෂණයට එරෙහිව කතිරය ගැසූ රටේ තරුණ තරුණියන්ට දැන් මොනවා හිතෙනවා ඇතිද ? එය හෙට දවසේ දේශපාලනය පිළිබඳවත් ප‍්‍රශ්නයකි.

දැන් දැන් එක එක කතා හුළඟ ගිනි ගත්තා වාගේ පැතිරෙන්නට පටන්ගෙනය. 118 පස්සේ 166ක් වෙලාය. මැති ඇමැතිවරුන්ට අමතරව රටේ ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරීන් පවා බැඳුම්කරයෙන් සල්ලි අරන් බවට කටකතාද පැතිරේ.

කථානායකවරයාද පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙවන් කටකතා නිසා පාර්ලිමේන්තුවේ කිර්තිනාමයටද මහත් කැළලක් සිදුව තිබෙන බවයි. නීතිපතිවරයාද පවසා සිටියේ 118 දෙනකු සම්බන්ධ වාර්තාවක් බැඳුම්කර කොමිසන් වාර්තාවේ කොතැනකවත් සඳහන්ව නැති බවයි. කතානායකවරයා මාධ්‍ය ඇතුළු පිරිසෙන් ඉල්ලා සිටියේ පදනම් විරහිත චෝදනා නැගීමෙන් වළකින ලෙසයි. කෙසේ හෝ පදනම් විරහිත කතා නිර්මාණයට  හෝ පදනම් විරහිත කතා පැතිරීම නවතින්නට නම් හැකි ඉක්මනින් රටේ ජනතාවට ඇත්ත හෙළිකළ යුතුය. යම්හෙයකින් එවන් ගනුදෙනුවකට සම්බන්ධ මැති ඇමැතිවරුන් සිටී නම් ඔවුන් ඉදිරිපත්ව සත්‍ය හෙළි කළ යුතුය. එවිට එය අනෙක් අයටද සාධාරණයක් වනු ඇත. එසේ නොවී සුජාත චරිත ලෙස හිඳ කොතැනින් හෝ සත්‍ය හෙළි වූ දාට එය සාධාරණීකරණය කරන්නට හේතු දාහක් කීවද වැඩක් නැත.