ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට යටත්ව පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාව එකම ධජයක් යටතට පත් කරගත්තේ 2009 වසරේ මැයි මස 18 වැනිදා යි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ඒ සුවිශේෂි විජයග්‍රයණයට අද දිනට වසර 9 ක් සපිරෙයි.

2006 ජූලි 21 වැනිදා ත්‍රිකුණාමලයට දකුණෙන් වූ මාවිල්ආරු සොරෙව්වේ දොරටු වසා දමමින් තිස් දහසකට අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කිරීමත් සමග සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු මුදාගැනීමේ මානුෂික මෙහෙයුම දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර ගත්තා.

නැගෙනහිර මුදාගැනීමෙන් නොනැවතුණු හමුදාවන් 2009 මැයි 18 වැනිදා සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම් අගලත් ඔවුන්ගෙන් මුදාගත්තේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සාමාන්‍ය වැසියන්ටද සුරක්ෂිත හෙට දිනක් උරුම කර දෙමින්.

ඒ අනුව මානුෂිය මෙහෙයුමට නායකත්වය දුන් එවක සෙන්ධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාද්වීපයම දශක තුනකට පසු යළිත් එක ධජයක් යටතට පත් වූ බව නිල වශයෙන් නිවේදනය කළා.

ජාතියේ මෙම ඓතිහාසික විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය ආසන්නයේදි පැවැත්වීමට නියමිතය.

රණවිරු අනුස්මරණ දින සැමරුම හෙට(19) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.