දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරුව රෝහල් ගත කරන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සදහා අවශ්‍ය හයිෆො ඔක්සිජන් (highflow oxygen) යන්ත්‍ර කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහලට සහ මාතර මහ රෝහලට ලබාදෙන ලෙස කරාපිටිය සහ මාතර රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඊයේ (17) දැනුම් දෙන ලදී.

වැඩි වේගයකින් සහ පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබාදීමට මෙම යන්ත්‍රවලට හැකියාවක් ඇති අතර, එහිදී හැකිළි ඇති පෙණහළු යළි විවරවීමක් සිදුවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. මෙම යන්ත්‍ර දේශීය මිල දී ගැනීම් යටතේ මිල දී ගැනීමට නියමිතය.

මේ අතර දකුණූ පළාතේ පවතින වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. දැනට ගාල්ල කරාපිටිය සහ මාතර මහ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හිරු සඳුන් ලියනගේ – හිනිදුම