වැඩිකළ ඉන්ධන මිල වහා අඩුකළ යුතුයි.

අද පැවතී මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදහස් දක්වමින්,

ආණ්ඩුව පහුගියදා ඩීසල් සහ පෙට්‍රල්, භූමිතෙල් මිල වැඩිකළා. බදු බර වැඩිකළා. ඒ නිසාම භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එද්දී ඉන්ධනවලට පනවා ඇති බදු අඩුකරන බවට මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට පොරොන්දු වුණා. මුල් අවදියේ ඡන්ද ගුණ්ඩුවක් ලෙස ඉන්ධන මිල අඩු කළත් ඉන් පසුව වට කිහිපයකින් ඉන්ධන මිල වැඩිකොට තිබෙනවා. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු. 83.40යි. ඒ ඩීසල් ලීටරයක් වෙනුවෙන් ආණ්ඩුව අයකරන බද්ද රු. 31.60ක්. පෙට්‍රල් ලීටරයක් ගොඩබාන මිල රු. 78.40යි. ඒ වෙනුවෙන් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකට ආණ්ඩුව අයකරන බද්ද රු. 60.19ක් වෙනවා. මේ බදු නිසා තමයි ඉන්ධන මිල වැඩිවෙලා තිබෙන්නේ. එසේ නැතිව ඩොලරය ඉහළ ගිය නිසා හෝ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ ගිය නිසා නොවෙයි. මේ සියලු බදු ආදායම යන්නේ ආණ්ඩුවටයි. ඒ වගේම භූමිතෙල් ලීටරයක මිල රු. 57කින් වැඩිකළා. කුප්පි ලාම්පුව පාවිච්චි කරන දුප්පත් ජනතාවට, ධීවර ජනතාවට භූමිතෙල් භාවිතා කොට නිෂ්පාදන කටයුතු කරන සියලුම දෙනාට එය විශාල බලපෑමක් වෙලා. රාජිත සේනාරත්න කිව්වේ භූමිතෙල් මිල වැඩිකළේ පෞද්ගලික බස්රථවලට ඩීසල් සමඟ භූමිතෙල් මිශ්‍ර කරන නිසා කියලා. එවැනි කටයුතු පාලනය කරන්න ක්‍රමවේදයක් යොදන්නේ නැතිව භූමිතෙල් මිල වැඩිකරන එක භූමිතෙල් පරිභෝජනය කරන දුප්පත් ජනතාවට සිදුවන විශාල අසාධාරණයක්.

ආණ්ඩුව බදු ගහලා ආදායම් ලැබුවාට සංස්ථාවට ලාභයක් ලැබෙන්නේ නැහැ. මේ තත්වය දරුණු අතට හැරෙන්නේ සංස්ථාව බංකොළොත් වෙලා අයි.ඕ.සී.යට ඉන්ධන ඒකාධිකාරිය ලැබුණු විටයි. එවිට අයි.ඕ.සී.ය නියම කරන මිලට ජනතාවට ඉන්ධන ලබාගන්න වෙනවා. සංස්ථාවේ පාඩු පෙන්නලා ආණ්ඩුව බදු ගහලා ආදායම් ලබනවා. ඒක හරියට හිඟන්නා පෙන්නලා මුදලාලි බඩ ගෝස්තරය තර කරගන්නවා වගේ වැඩක්. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා අසාධාරණ ලෙස ඉහළ දැමූ ඉන්ධන මිල වහාම අඩු කරන්න කියලා.

ඒ වගේම ආණ්ඩුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රු. 50කින් ඉහළ දැම්මා. එය බරපතළ අසාධාරණයක්. ආණ්ඩුව මේ වනවිටත් රු. 106ක වැට් බද්දක් සහ රු. 5ක අමතර බද්දකුත් සහිතව කිරිපිටි කිලෝග්‍රෑමයකට රු. 111ක බද්දක් අයකර ගන්නවා. ඊට අමතරව තමයි මෙම රු. 50ක මිල වැඩිවීම කර තිබෙන්නේ. බදු ගහලා ආණ්ඩුව කියනවා ජනතාවට සෞඛ්‍යයට, ප්‍රවාහනයට, අධ්‍යාපනයට වියදම් කරනවා කියලා. දැන්වීම් දාලා ජනතාව නොමග යවලා ආණඩුවේ නාස්තිය, දූෂණය පියවා ගන්න තමයි මේ විදිහට බදු ගහන්නේ. එම බදු මුදල් ජනතාවගේ සහනාධාරවලට හෝ සේවාවලට යොදවන්නේ නැහැ. පසුගියදා පුවත්පතක වාර්තා කොට තිබුණා කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට තවත් ලක්‍ෂ 7.5ක මුදලක් වෙන් කරන තිබෙනවා කියලා. එම ගොඩනැගිල්ල වෙනුවෙන් මේ වෙනකොටත් මාසිකව ලක්‍ෂ 245ක් වැය කරනවා. ඒ අනුව දැන් එය ලක්‍ෂ 252.5ක් බවට වැඩි වෙනවා. කෘෂිකර්ම ගොඩනැගිල්ල වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුළ රු. ලක්‍ෂ 9065ක් වියදම් කොට තිබෙනවා. නව කෘෂිකර්ම ඇමතිවරයා පිළිගන්නවා මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් නාස්තිකාර වියදමක් කරනවා කියලා. ඊට අමතරව මහ බැංකු ගනුදෙනුවෙන් කෝටි 1150ක් පාඩු වුණා. මේ විදිහට ආණ්ඩුවට සිදුවන පාඩු හොයාගන්න තමයි ජනතාවට බදු ගහන්නේ. මෝටර් සයිකලයෙන්, ත්‍රී වීලරයෙන් වැඩට යන දුප්පත් ජනතාවට ඉන්ධන මිල වැඩිකරලා දුම්රියන් බස් රියෙන් යන ජනතාවගේ ගාස්තුව වැඩි කරලා ආණ්ඩුව ලාභ ලබනවා. අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා කිව්වට මේ වෙනකොට අධ්‍යාපනයේ බර දරන්නේ දෙමාපියන් විසින්.

පසුගියදා ඛනිජතෙල් සංස්ථාවේ ස්ථානීය මිලදී ගැනීම්වලින් කෝටි 1420ක් පාඩුකරගෙන තිබෙනවා. ඇමතිවරුන්ගේ ගෙවල්වලට වාහනවලට, පරිපූරක ඇස්තමේන්තු සම්මත කරගන්නවා. ඇමතිවරුන්ගේ වාහනවලට පමණක් කෝටි 150ක පරිපූරකයක් වෙන්කර ගත්තා. ඊට අමතරව ඇමතිවරුන්ගේ නිවාසවලට කෝටිය, එක හමාර බැගින් අලුත්වැඩියාව සඳහා වෙන්කර ගන්නවා. අගමැතිවරයාගේ වෙඩි නොවදින වාහන දෙකකට පමණක් රු. කෝටි 60ක වියදමක් කළා. ඒ නිසා ආණ්ඩුව තවමන්ගේ වියදම් පියවා ගන්න ජනතාව මත පටවන බදු වහාම ඉවත්කර ගත යුතුයි.
අපේ රටේ සාමාන්‍ය පවුලක් මාසයකට මිලදී ගන්න බඩු මල්ලක මිල 2016-2017 වසර තුළ රු. 3049.50කින් ඉහළ ගොස් තිබෙනවා. 2017-2018 වසර තුළ රු. 1059.30කින් වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව මෙම යහපාලන ආණ්ඩුව කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ බඩු මල්ලේ මිල රු. 4108.80කින් වැඩිවෙලා තිබෙනවා. 2016 වසරේ 158ක් වූ පරිප්පු කිලෝව 2018 වසර වනවිට රු. 256 දක්වා වැඩිවෙලා තිබෙනවා. 2016දී රු. 216ක් වූ වියළි මිරිස් කිලෝව 2018 වනවිට රු. 280ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. රු. 52ට තිබුණු බී ළුෑණු කිලෝ එක 82 දක්වාත්, රු. 59ට තිබුණු සුදු හාල් කිලෝව 78 දක්වාත්, රු. 74ට තිබුණු කැඩුණු සහල් කිලෝව 76 දක්වාත් වැඩිවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව කල් දාපු ජනාධිපතිවරයා දෙවැනි සභාව ආරම්භ කරන කථාවේදී කයිවාරු ගැහුවා, රටේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙනවා කියලා. නමුත් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් මේ විදිහට බඩු මිල වැඩිවෙන්නේ කොහොමද? කිරිපිටි මිල, ගෑස් මිල, ඉන්ධන මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු වැඩිවෙලා තිබෙනවා. ඉන්ඩ්‍රස්ටි්‍රයල් ගෑස් මිල වැඩිවීම නිසා එමගින් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල මිල වැඩිවෙනවා.

මේ ආණ්ඩුව බංකොළොත් ආණ්ඩුවක්. වංචාව-දූෂණය-නාස්තිය වැඩිවෙලා තිබෙනවා. ආණ්ඩුව බලයට එනවිට රු. 131ක් වූ ඩොලරය අද රු. 160 දක්වා වැඩිවෙලා. රුපියල 20%කින් කඩා වැටිලා තිබෙනවා. ආනයනික භාණ්ඩ මිල වැඩිවෙලා තිබෙනවා. ණය පොලී වාරිකය වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව බංකොලොත් ආණ්ඩුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම අපි ආණ්ඩුවට බලකරලා කියනවා අසාධාරණ ලෙස වැඩිකල බදු බරත් ඉන්ධන මිලත් වහාම අඩුකළ යුතුයි කියලා.