වර්ෂ 1847 දී ඉදිකරන ලද ඉන්දියාවේ සනාවර් හි ලෝරන්ස් විදුහල සහ වර්ෂ 1835 දී ඉදිකරන ලද කොළඹ රාජකීය විදුහල අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කර තිබිණ. සනාවර් නියෝජිත පිරිස එම පාසලේ ප්‍රධානියා වන විනේ පාන්ඩේ මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර ගුරුවරුන් දෙදෙනෙක් හා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 4 දෙනෙකුගෙන් සමන්විත වූ  එම කණ්ඩායම අප්‍රේල් 26 වනදා සිට 30 වනදා දක්වා  ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබීය.

එම නියෝජිත පිරිස කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව හමු වූ අතර එම අවස්ථාවට ඉන්දීය මහා කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාද සහභාගි විය. එසේම මෙම නියෝජිත පිරිස කොළඹ රාජකීය විද්‍යාලය වෙතද ගොස් එහි ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හමු වූ අතර රාජකීය විදුහලේ විෂය සමගාමී හා විෂය පරිබාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත්තේය. එමෙන්ම එම  නියෝජිත පිරිස ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේද සංචාරය කළේය.

මෙම නියෝජිත පිරිස ඓතිහාසික මහනුවර නගරයට පැමිණ දළදා මාළිඟාව වැඳ පුදාගත් අතර කොළඹ පැවති වෙසක් සැමරුම් වලටද සහභාගි විය. මෙම සිසුන් දැව නිර්මාණ ශිල්පීන් සහ දේශීය නිර්මාණ කරුවන්ද හමුවිය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසල් ද්විත්වයටම නව අවස්ථා විවර කර දීම සහ  දෙරට අතර සංස්කෘතික, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමයි.  මෙම වැඩසටහනෙහි එක් අංගයක් ලෙස ශිම්ලා හි සනාවර් හි පිහිටි ලෝරන්ස් විදුහල  රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් හට ඉදිරි මාස කිහිපය තුලදී සත්කාරකත්වය ලබා දෙනු ඇති  අතර  එම ශිෂ්‍යයන් හට අනෙකුත් ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාවන් වල නිරත වීමට ද අවස්ථාව සලසා දෙනු ඇත.