ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් 14දා සවස  හබරාදුව කතළුව තිත්තගල්ල ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී නිවසක් තුළ කාලයක් තිස්සේ හොර රහසේ පවත්වාගෙන යමින් තිබූ මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහතාට ලැබුන මහජන පැමිණිලි මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මෙහෙයුම්) එම්.බී.වන්සූරිය මහතාගේ සහ දකුණු පළාත සහ සබරගමුව පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් පී.එච්.සී. ද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල සුරාබදු අධිකාරී එම්.ඩී.පී. සුනිල් ශාන්ත මහතාගේ අධීක්ෂණය මත ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් මෙම මහා වැටලීම සිදු කරනු ලැබීය.

මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ නිවස තේ වත්තක පිහිටා තිබූ අතර එම නිවස පිටුපස පුරන් වූ කුඹුරු යායක් තිබූ අතර කසිප්පු පෙරීමෙන් පසු ඉතිරි වන උණු ගෝඩා එම කුඹුරු යායට ගලා යාමට සලස්වා තිබුනි. මෙම තේ ඉඩම හා කුඹුරු යාය මෙම නිවසේම හිමිකරුවන්ගේ වන අතර තේ ඉඩමේ දළු නෙළීම, වල් නෙලීම ආදී කටයුතු ඔවුන් විසින්ම සිදුකර ගැනීම නිසා බාහිර පුද්ගලයන් මෙම නිවස වෙත හෝ වත්ත වෙත පැමිණීම සීමාවී තිබූ නිසා මොවුන්ට මෙම ව්‍යාපාරය කාලයක් තිස්සේ නිදහසේ කර ගෙන යාමට හැකිවී තිබුණි.

මෙම නිවස තුළ කසිප්පු පෙරමින් සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වයස අවුරුදු 40 ක මැදිවියේ අයෙකු වන අතර ඔහුත් සමග ඔහුගේ පියා ද ඔහුගේ බිරිද ද වයස අවුරුදු 10 ක හා 14 ක වයසේ පුතකු හා දුවකු ද මෙම නිවසේ වාසය කරමින් සිට තිබුණි.

මෙම වැටලීමේදී  නීති විරෝධී ගෝඩා මිලි ලීටර් 1,360,000 ක්ද නීති විරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු මිලි ලීටර් 21,400 ක්ද කසිප්පු පෙරීමට  උපයෝගි කරගන්නා ලද තහඩු බැරල් 9 ක්ද , තඹ දඟර දෙකක්ද, විශාල ගෑස් උදුනක්ද, ගෑස් සිලින්ඩරයක්ද අත්අඩංගුවට  ගනු ලැබූ අතර එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ. මෙසේ පෙරනු ලබන කසිප්පු ඉමදූව, අකුරැස්ස, පිටබැද්දර, මොරවක, දෙනියාය යන ප්‍රදේශවලට බෙදාහැරීමට සූදානම් කළ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ බව ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පැවසීය.

සුරාබදු නිලධාරීන් පසුගිය දිනවල ගාල්ල හා ඒ අවට ප්‍රදේශවල කැලෑබද ප්‍රදේශ පීරමින් කසිප්පු නිශ්පාදනාගාර වැටලූ බැවින් මොහු ඉන් බේරීම සදහා මෙම කසිප්පු පෙරීමේ කටයුතු නිවස තුළම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අතර සැකකරුට එරෙහිව ඊයේ (15) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව තිබුණි.

මෙම වැටලීම සදහා ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර,  සුරාබදු පරීක්ෂක ඩබ්.ජී.එස්. අමරරත්න, සුරාබදු නියාමක 899 ඉන්දික ධර්මප්‍රිය, සුරාබදු නියාමක 1072 රජිත මිහිරංග, සුරාබදු නියාමක 1191 බුද්ධික වික්‍රමසිංහ, සුරාබදු රියදුරු ලුෂාන්ත ලක්මාල්, සුරාබදු රියදුරු තිලක් ආනන්ද ලාල් යන ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වුහ.

හිරු සඳුන් ලියනගේ – හිනිදුම