ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් බේරුවල සිට මන්නාරම දක්වා ධීවරයන් ඊයේ (13) රාත්‍රී මුහුදු නොගොස් වර්ජනයකට එක්ව සිටින බව ධීවර සමිති පවසයි.

ඉන්ධන සහනාධාරක් තමන්ට ලබා දෙන බවට රජය ප්‍රකාශ කළත්,එය සාර්ථක ක්‍රියාවක් නොවන බවත්,මේ ආකාරයට එක් වරම විශාල මුදලකින් ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා ධීවරයෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවද කියති.

රජය ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් තමන්ට සාධාරණයක් ඉටු නොවුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ධීවර සමිති නියෝජිතයින් පවසයි.

හලාවත ධීවර වරායේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.

හලාවත, වෙන්නප්පුව, කල්පිටිය, පුත්තලම යන ප්‍රදේශ වල ධීවරයින් 14 වැනිදා මුහුදු නොගොස් වර්ජනයක නිරත වී සිටින බවද වාර්තාවේ.

මුහුදු නොගොස් වර්ජනයට එක්ව සිටින ධීවරයින් විසින් හලාවත නගරයේ ස්ථාන කීපයක කළු කොඩි ඔසවා ඇති අතර, මෙම හේතුවෙන් හලාවත මාළු අලෙවිසල් ද පාළුවට ගොස් තිබිණි.

හලාවත වරාය තුළ මෙන්ම කලපු තීරයේ බහු දින යාත්‍රා සහ එක් දින යාත්‍රා ගාල් කර ඇති ආකාරයක් ද දක්නට තිබේ.

එහිදී අදහස් දැක්වූ ධීවරයින් කියා සිටියේ 15 වැනිදා ධීවර ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එම සාකච්ඡාවේදී සාධාරණයක් ඉටු නොවුනහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නා බවය.

මෙම මාධ්‍ය හමුවට පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ධීවර සමිති නියෝජනය කරමින් 80 ක් පමණ දෙනා සහභාගි වී සිටියේය.