ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එළැඹෙන තරග 3කින් යුත් ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කොට ශ්‍රී ලංකා පිල නම් කිරීම මේ සතියේදී සිදුවන බව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ‘රිවිර’ට පැවසීය. ඒ අනුව මේ වන විටත් ක්‍රීඩකයන් 22කින් යුත් සංචිතයක් තෝරා ඔවුන් හෙට (09) ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ විශේෂ පුහුණු සැසියකට පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ අනුව මේ වන විට පවත්වන අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා තෙවැනි තරගයෙන් පසුව මෙම ක්‍රීඩකයන් එම තරගාවලියෙන් ඉවත්වන අතර ඒ වෙනුවෙන් තවත් දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනකු අන්තර් පළාත් තරගාවලියේ ගාල්ල, දඹුල්ල, කොළඹ, මහනුවර කණ්ඩායම් සඳහා එක්වන බව තේරීම් කමිටුව පවසයි.

මේ වන විටත් කොළඹ පිල පැවැති තරග දෙකම ජයග්‍රහණය කර තරගාවලියේ ඉදිරියෙන්ම සිටින අතර ඉතිරි කණ්ඩායම් තරගාවලියේ ඉදිරියට යාම සඳහා දැඩි සටනක යෙදීම කැපී පෙනේ. විශේෂයෙන් මෙම තරගාවලියේද ශ්‍රී ලංකා පි‍ලේ ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණීම සහ කඩුලු අතරට පැමිණීම එළැඹෙන කොදෙව් සංචාරය සඳහා සුබවාදී කරුණක් වනු ඇත.

ධම්මික රත්නවීර