පසුගියදා නිමා වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 12ක් දිනාගත් ශ්‍රී ලංකා පිල රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පමණක් දෙවැනි වූ නිසා මලල ක්‍රීඩාවේ පැහැබර අනාගතයක් ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රධානී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ‘රිවිර’ට පැවසීය.

“අපේ ඉලක්කය වුණේ තරගාවලියට පෙර රන් පදක්කම් 10ක් ලැබිමටයි. කෙසේ වුණත් අවසානයේ රන් පදක්කම් 12ක් ලබාගෙන රිදී පදක්කම් 10ක් ද ලබා ලෝකඩ පදක්කම් 19කින් ශ්‍රී ලංකාවට ගෞරවය ලබා දීමට අපේ යොවුන් මලල ක්‍රීඩකයන් සමත් වුණා. අසල්වැසි ඉන්දියානු ක්‍රීඩකයන් රන් පදක්කම් 20ට අමතරව රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ලබා ගත්තා. පාකිස්තානයට හිමි වුණේ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් පමණයි. බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 2ක් ද මාලදිවයින ලෝකඩ පදක්කමක් ද මෙම තරගාවලියේදී ලබාගත්තා. පසුගිය සති අන්තයේ පැවැති මෙම තරගාවලිය ඉතාමත් අඩු වියදමකින් එහෙත් වඩාත් සාර්ථකව නිමාවට පත් කිරීම සතුටට කරුණක්. එහි උපරිම ප්‍රතිඵලය ලැබුණේ යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රන් 12ක්ම අපට හිමිකර දීම නිසා. තවත් රන් පදක්කම් 3ක් ලබාගැනීමේ අවකාශ අවසන් මොහොතේ අහිමි වුණා. මේ නිසා මලල ක්‍රීඩා ප්‍රධානී ලෙස ඉදිරි අන්තර්ජාතික තරගාවලියන් සඳහා වඩාත් විශ්වාසයකින් ක්‍රීඩකයන් සූදානම් කිරීමට හැකි බව පැවසීය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පි‍ලේ නායක අරුණ දර්ශන සහ කාන්තා පි‍ලේ නායිකා අමාෂා ද සිල්වා සුවිශේෂී දක්ෂතා අතරට පැමිණියා. අරුණ දර්ශන මීටර් 400 නව තරගාවලි වාර්තාවක් තැබිමට සමත් වූයේ තත්පර 46.55කින් තරගය නිමා කරමින්. ඊට අමතරව අමාෂා ද සිල්වා මීටර් 100 තත්පර 3.92කින් නිමා කර නව තරගාවලි වාර්තාවක් තැබුවා. මීට අමතරව මීටර් 400 කාන්තා තරගයෙන් ශ්‍යාමලී කුමාරසිංහ තත්පර 54.47කින් තරගය නිමා කර නව තරග වාර්තාවක් පිහිටුවූ අතර තාරකා දිව්‍යාංජලී තමාගේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 400 තරගය නිමා කළේ තත්පර 56.07කින් තරගය නිම කරමින්. මීට අමතරව මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් පී.එම්.පී.එල්. කොඩිකාර තත්පර 52.56කින් තරගය නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවූ අතර ශ්‍රී ලංකා මීටර් 4*400 බාලක සහ බාලිකා සහාය දිවීමේ කණ්ඩායම් ද නව තරග වාර්තාවන් පිහිටුවීම කැපී පෙනෙන සිදුවීමකි.

ඉන්දියානු විශේෂ ආරාධිතයන් සහ පකිස්තානු විශේෂ ආරාධිතයන් මෙම තරගාවලියට ප්‍රේක්ෂකයන් ලෙස එක්ව සිටි අතර ආසියානු රන් පදක්කම්ලාභී එස්.එල්.බි. රෝසා ද මෙම තරගාවලියේ අවසන් දින පැමිණ මීටර් 5000 ජයග්‍රාහකයන්ට පදක්කම් ප්‍රදානයට එක්වීම විශේෂත්වයකි.

ධම්මික රත්නවීර