පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වීමෙන් පසු රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 10 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ඇමැතිවරුන් දස දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට යන බව දේශපාලන ආරංචිමාර්ගවලින් හෙළි වෙයි.

විශ්වාසභංගයට පක්ෂව පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනාද පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය ආරම්භ වන අනිද්දා (08) දින පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් කලකිරීමට පත් මන්ත්‍රීවරු පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව මේ වන විට නව රජයක් පිහිටුවීම පිළිබඳ රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා ලබන සතියේ ආණ්ඩුවෙන් ඉවත්වන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ සහාය ලබා ගැනීමටද එම එජාප මන්ත්‍රීවරු පිරිස බලා‍පොරොත්තු වන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මූලික කර ගනිමින්, මෙම නව රජය පිහිටුවීම පිළිබඳවද එම පක්ෂයෙන්ම අගමැතිවරයකු පත්කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

චමින්ද සේනාරත්න/ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්/ පැතුම් වික්‍රමරත්න