හෙළයේ මහා සිනමාකරු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවයෙන් රටක් කම්පාවට පත්වෙද්දී ඔහුගේ දේහය අසල වූ රණමයුර සම්මානයට හිමි පදක්කම සොරකම් කිරීම රටේම කතබහට ලක් විය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ගම්පෙරළිය සිනමා කෘතියට 1965 වර්ෂයේදී රණමයුර සම්මානය හිමි වූයේ ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙ‍ලේදීය.
රණමයුර සම්මානයට හිමි පදක්කම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසින් අතුරුදන් වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය නිවසින් රැගෙන යාමටත් පෙරය.
මේ කියන රණමයුර සම්මානයට හිමි පදක්කමට උරුම වූ දේම රණමයුර සම්මානයටද උරුම වූ ඉතිහාසයක් අපේ රටේ තිබේ.

ගම්පෙරළිය චිත්‍රපටයට හිමි වූ රණමයුර සම්මානය මේ අයුරින්ම එම චිත්‍රපටයේ නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ නිවසේ තිබියදී අතුරුදන් වූයෙත් ඇන්ටන් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව බව කලා ඉතිහාස විශාරදයෝ කියති.

මොනරකු සහිතව නිම කර තිබූ එම සම්මානයට වූ දෙයක් අදටත් සොයා ගන්නට නොමැත. කලා ලෝකයේ පේ‍රෟඪත්වය විදහා දක්වන මෙකී සම්මාන අතරේ තුන්වන ලෝකයේ රටවල නිෂ්පාදනය කළ හොඳම චිත්‍රපටය ලෙස ‘අහසින් ‍පොළොවට’ චිත්‍රපටයට ලද ජාත්‍යන්තර සම්මානය ද තිලංග සුමතිපාල මහතාගේ පුංචි බොරැල්ල නිවසේ තිබියදී සොරකම් කර තිබුණේ මෙකී ආකාරයටය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කොළඹ 05, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ නිවසින් රණමයුර පදක්කම අතුරුදන් වන්නේ ඒ මහතාගේ දේහය අසල තිබියදීය. ඒ මහතාගේ දේහය නිදහස් චතුරස්‍රය කරා රැගෙන යාමට ප්‍රථම 2දා පෙරවරුවේ නිවසේ ආගමික වතාවත් පැවැත්වෙන අතරතුර සම්මානය අතුරුදන් වී ඇතැයි අනාවරණය වන්නේ පවු‍ලේ අය සොයා බැලීමකදීය.

මෙම පදක්කම පැහැරගත් බවට විශ්වාස කරන්නේ 2දා උදෑසන 10.00ත් 11.00ත් අතරය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණියක් බම්බලපිටිය ‍පොලිසියට පැමිණිලි කර තිබුණේ රණමයුර පදක්කම සමග රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්ද අතුරුදන් වී ඇති බවය.
මෙම සිද්ධිය වූ බව කියන මොහොතේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

රණමයුර පදක්කම අතුරුදන්වීමත් සමග නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කඩිනම් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කර තිබුණේය. මේ අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක මහතා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයද විශේෂ විමර්ශනයක් අරඹන්නේය.

පවු‍ලේ ඥාතීන්ගෙන් හා නිවසේ අයගෙන් ලබාගත් ප්‍රකාශවලින් ලද තොරතුරු හා ආගමික කටයුතු සිදුවන මොහොතේ ලබාගත් වීඩියෝ දර්ශන ඔස්සේ ‍පොලිස් විමර්ශන ඇරඹෙන්නේ ඉන් පසුවය.
වීඩියෝ දර්ශන එකිනෙකට පරීක්ෂාවට ලක් කරන පරීක්ෂණ කණ්ඩායම්වලට රණමයුර පදක්කම තැන්පත් කර තිබූ තැනින් රැගෙන යන පුද්ගලයා ගැන හෝඩුවාවක් ලබාගත හැකි වන්නේය. වීඩියෝපටයට අනුව අතක් ඉහළින් එසවෙන අයුරු හා සම්මාන පදක්කම එතැනින් උස්සන අයුරු සටහන්ව ඇත. පදක්කම උස්සන පුද්ගලයාගේ හැඩරුව යන්තමට වීඩියෝවේ සටහන් වුවත් සැකකරු කවුදැයි හරියටම සොයාගන්නට හැකි වන්නේ නැත.
‍පොලිස් කණ්ඩායම් දැන් උත්සුක වන්නේ වීඩියෝවේ සටහන්ව ඇති රුව හඳුනා ගැනීමටය. ඇතැම් විට කිසියම් පිරිසක් මෙය සංවිධානාත්මකව කළ දෙයක් ද එසේත් නැතිනම් තනි පුද්ගලයකු කළ දෙයක්ද යන්න පිළිබඳ හෝඩුවාවක් ලබාගත නොහැකිව ඇත්තේය.

සම්මාන පදක්කම සමග අතුරුදන් වූ ජංගම දුරකථනය ඔස්සේ සැකකරු සොයා යන්නට ද උත්සාහ කරන අතරේ විවිධ හෝඩුවාවන් ඔස්සේ විමර්ශන අරඹා තිබුණේය.
2012 මාර්තුවේ කොළඹ කෞතුකාගාරයේදී නුගවෙල අදිකාරම් භාවිත කළ මැණික් එබ්බ වූ පෞරාණික කසකස්තානය අතුරුදන් වන්නේද රටේම කතාබහක් ඇති කරමිනි. අවසානයේ කන්ගැට්ටා නමැති කුඩ්ඩෙකු සමග බියගම ප්‍රදේශයේ දමා ගිය කොටස්වලට කඩන ලද කසකස්තානය සොයා ගැනුණේය.
මෙවර රණමයුර පදක්කම සොරකම් කළේත් එවැනි කුඩු පානයට හුරු වූ කන්ගැට්ටකු විය හැකිය. එසේත් නැතිනම් එවැනි කන්ගැට්ටකු ලවා මෙහි පෞරාණික වටිනාකම දන්නා අයකු මෙය පැහැර ගත්තා විය හැකිය. හෙළ සිනමාවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ආදරය කරන කිසිවකුත් මෙවැනි දෙයක් සිදුකරන්නේද නැත.

රන් ආ‍ලේපිත මෙම පදක්කමට වෙළෙඳ‍පොළ වටිනාකමක් නොමැත. එයට ඇත්තේ පෞරාණික බව නිසා ඇති වටිනාකමය. රටේ පේ‍රෟඪත්වය පිළිබිඹු කරන මෙම සම්මානය ශ්‍රී ලාංකේය ඉතිහාසයට අයිති එකකි.
මෙය පෞරාණික වටිනාකමක් ඇති නිසා ඉහළ මුදලකට විකුණන්නට ඇතැමුන් සැලසුම් කළා ද විය හැකිය.
මේ සියල්ල සිදු වූ නාටකය තහවුරු කරගත හැක්කේ ‍පොලිස් විමර්ශනවලට අදාළව ප්‍රධාන සැකකරු හඳුනාගැනීමෙනි. සැකකරු කවුදැයි සොයා විමර්ශන විවිධ පැති ඔස්සේ සිදුවන නමුත් මෙම සිකුරාදා වනතුරුත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිණි.

යම් අයකු හට මෙම පදක්කම ලැබි ඇත්නම් ළඟම ‍පොලිසියට හෝ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට හෝ මෙය ලබාදෙන්නට කටයුතු කරන ලෙස ද ‍පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා


 

මේකට තියෙන්නේ ඓතිහාසික වටිනාකමක් – ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා

ශ්‍රී ලංකාවේ රිදී තිරය රත්‍රං තිරයක් බවට පත් කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට ලැබුණු ඔය රණමයුර සම්මානය විසින් කියලයි මම විශ්වාස කරන්නේ. ඒක ශ්‍රී ලංකාවේ චිත්‍රපටයකට ඉතිහාසයේ පළමු වතාවට ලැබුණු අන්තර්ජාතික සම්මානය. ඒ නිසා ඒ සම්මානය රත්‍රංවලට වඩා වටිනවා. භෞතික වටිනාකමකට වඩා ඒකේ තියෙන්නේ ඉතිහාසගත වටිනාකමක්. එහෙව් වටිනා පදක්කමක් හොරකම් කළ හොරාට දිය යුතු දඬුවම මොකක්ද කියලයි මම කල්පනා කරන්නේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා තමයි ලාංකීය සිනමාකරුවන්ට පෙන්නුවේ අපට රටක් හැටියට ජාත්‍යන්තරයේ සම්මානයට පාත්‍ර වෙන්න පුළුවන් කියලා. ඒ ඔය රණමයුර සම්මානය හරහායි. අද ඉන්න සිනමාකරුවන් හැම දෙනාම පාහේ අන්තර්ජාතිකව අපට ඇගැයුම් ලබන්න පුළුවන් බව විශ්වාස කළේ ඔය රණමයුර සම්මානය නිසයි.

මට නම් හිතෙන්නේ ඒක හොරකම් කළ කෙනාට කවදාවත් ඕකට කෞතුක වටිනාකමක් ගන්න බැහැ. මොකද ඕක අතේ තියෙනවා කියලා කවදා හෝ එළි කළ දවසක ඔහු නීතියේ රැහැනට හසු වෙනවා. කවුරු නමුත් ඔය සම්මානය ගත්තේ ඒක රත්‍රංවලින් හදලා ඇති කියලා හිතලයි. නමුත් එහෙම නැහැ. ඒකට තියෙන්නේ ඉතිහාසගත වටිනාකමක්.
සම්මානයක් හොරු ගැනීමේදී ඇතිවන හිත් වේදනාව ගැන මට හොඳට අත්දැකීම් තියෙනවා. මගේ රන් නෙළුම හොරාගත් අවස්ථාවේදී මට දැනුණ වේදනාව ගැන කියන්න වචන නැහැ. මේ වේලාවේ සුමිත්‍රා පීරිස් මැතිනිය මොනතරම් වේදනාවකින් පසුවෙනවා ඇතිද කියලා මට හොඳටම අවබෝධ වෙනවා. මොකද මට අත්දැකීම් තියෙන නිසා.

මේ නිසා මම ‍පොලිසියෙන් සහ නීති බලධාරීන් කාගෙනුත් ඉල්ලීමක් කරනවා හැකි සෑම උත්සාහයක්ම අරගෙන හොරාට දඬුවම් පමුණුවන්න කියලා.

සාවිත්‍රි විතානගේ