බණ්ඩාරවෙල අධිකරණයේ ‍ලේඛනාගාරය ගිනි ගත්තේ විදුලි කාන්දුවකින් හෝ වෙනත් ස්වාභාවික හේතුවකින් නොවන බව ‍පොලිසිය හෙළිකරගෙන හමාරය. සිදුව ඇත්තේ ‍ලේඛනාගාරය ගිනි තබාය. භුමිතෙල් වැනි ඉන්ධනයක් යොදා ‍ලේඛනාගාරය ගිනි තබා ඇති බව රජයේ රස පරීක්ෂකවරයා පවා තහවුරු කර හමාරය. ඒත් එක්කම ‍ලේඛනාගාරය ගිනි තැබුවේ කවුරුන්දැයි පැහැදිලිවම හෙළිකර ගැනීමට බණ්ඩාරවෙල ‍පොලිසිය සමත්ව තිබිම විශේෂිතය.

අධිකරණයේ ‍ලේඛනාගාරය ගිනි ගන්නේ පසුගිය 30 වෙනිදා උදෑසන කාලයේදීය. ‍පොලිසියට ඒ බව දැන ගන්නට ලැබෙන්නේ උදෑසන 9.00 ට පමණය. ඒ වන විටත් ‍ලේඛනාගාරයේ නඩු ගොනු තිබෙන්නේ ගිනි ඇවිළෙමිනි. වහාම ක්‍රියාත්මක වන ‍පොලිසිය බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එහි කැඳවමින් ගින්න කඩිනමින් නිවා දැමීමට පියවර ගැනීමය. ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණෙන තුරු නගර වැසියන්ගේද සහාය ඇතිව බාල්දිවලින් ජලය ඉසිමින් ගින්න පාලනය කිරීමට ‍පොලිසිය ගත් උත්සාහය නිසා ගින්නට හසුවී විනාශ වීමට තිබුණූ ලිපිගොනු විශාල සංඛ්‍යාවක් බේරාගැනීමටද හැකිවී තිබිම විශේෂිතය.

මෙම ගින්න හටගන්නා විට මුරකරු සිටින්නේ අධිකරණ සංකීර්ණයෙන් පිටතට ගොසිණි. ඔහු පවසන්නේ තේ පානය කිරීමට තමා අධිකරණ සංකීර්ණයෙන් මොහොතකට පිටව ගොස් නැවත පැමිණෙන විට ‍ලේඛනාගාරය ගිනි ගන්නා බව දුටු බවය. ‍පොලිසිය පැත්තෙන කියන්නේ ගින්න කණ වැකී ‍පොලිසිය එහි එන විටත් මුරකරු එහි නොසිටි බවය.
විමර්ශන වලින් ‍පොලිසියට පෙනී ගොස් ඇත්තේ නම් ‍ලේඛනාගාරයට ගිනි තැබූ පුද්ගලයා අධිකරණ සංකීර්ණයට ඇතුළු වී ‍ලේඛනාගාරයට ගිනි තබන්නේ මුරකරු ඒ වන විට එහි නොසිටින බව හොඳාකාරවම දැනගෙන බවය.

මර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට ‍ලේඛනාගාරයට ගිනි තැබූ පුද්ගලයා ඊට ඇතුළු වන්නේ දොරක් කඩාගෙනය. බොහෝ විට ඔහු අලුයම් කාලයේ ‍ලේඛනාගාරයට ඇතුළු වී ඇති බව ‍පොලිස් විමර්ශකයන්ගේ අනුමානය වී තිබේ. ඔහු ‍ලේඛනාගාරයේ නඩු ගොනු ඇති ස්ථාන හයකටම ගිනි තබා ඇතිමුත් ඇවිළී ඇත්තේ එක් ස්ථානයක් පමණක් බවද විමර්ශකයන්ට පැහැදිලිවම පෙනී ගියේය. ඊට සාක්ෂි සපයන ලද්දේ ‍ලේඛනාගාරයේ තැන තැන වැටී තිබුණු අඩක් ඇවිළුණු ගිනි කූරුය.

මේ ආකාරයට මෑත ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම අධිකරණ ‍ලේඛනාගාර සහ නඩු භාණ්ඩ ගබඩා කිහිපයක්ම ගිනි තැබිම්වලට ලක්වී ඇත්තේය. 2001 වසරේ ජනවාරියේදී රත්නපුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව ගිනි තබා තිබුණේය. නැවතත් මැයි මාසයේදීද රත්නපුර අධිකරණයේ ‍ලේඛනාගාරය ගිනි ගත්තේය. එම වසරේ ඔක්තෝබර් 03 වෙනිදා මතුගම අධිකරණ ‍ලේඛනාගාරය මුළුමනින්ම ගිනි තැබෙන්නේ සන්නද්ධ පිරිසක් කඩා වැදී බෝම්බද පුපුරවා හරිමිනි. එයින් මාස හයක් ගතවන විට 2002 වසරේ අප්‍රේල් 04 වෙනිදා අවිස්සාවේල්ල අධිකරණයේ ‍ලේඛනාගාරයට ගිනි තබා විනාශ කෙරෙන්නේ ‍පොලිසියේද ආරක්ෂාවක් අධිකරණ සංකීර්ණයට යොදා තිබියදීය. එදා ගින්නට හසුවී විනාශ වුණූ ලිපිගොනු සංඛ්‍යාව 30000 කට වැඩිය. එය එතැනින් හමාර වන්නේ නැත. එම වසරේම ජුනි 18 වෙනිදා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ ‍ලේඛනාගාරයද ගිනි ගැනීමට ලක්විය.

මේ සියලු අධිකරණ ගිනි ගැනීම් ගිනි තැබිම් බව විමර්ශනවලින් තහවුරුවූවත් මතෛක් ඒ කිසිදු ගිනි තැබිමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නම් වාර්තා වන්නේ නැත. එකල කියැවුණු ආකාරයට අනුව මේ සියලු ගිනි ගැනීම් පිටුපස දේශපාලන සම්බන්ධකම් ඇති අපරාධකරුවන් සිටි බව සඳහන් විය. එම ගිනි තැබිම්වලින් නඩු ගොනු විනාශවීමත් සමග සිදුවූයේ බොහෝ නඩු විසිවීමය. ඒ නඩු ගොනු විනාශවීම නිසාය. ඒ සෑම අධිකරණ ‍ලේඛනාගාරයක්ම ගිනි තැබූවන්ගේ අරමුණ වූයේද එමය.

ඒ සෑම අධිකරණයකම සිදුවූ ගිනි තැබිම් වලට සම්බන්ධ සැබෑ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ‍පොලිසියට හැකියාවක් නොලැබුණත් බණ්ඩාරවෙල අධිකරණ ‍ලේඛනාගාරයට ගිනි තැබූ පුද්ගලයාට නම් ගැලවිල්ලක් නොමැති බව නම් පැහැදිලිය. දැනටමත් බණ්ඩාරවෙල ‍පොලිස් විමර්ශකයන් ඒ පුද්ගලයා කවුරුන්දැයි හදුනාගෙන හමාරය. ඔහු ගම්පහ ගණේමුල්‍ලේ පදිංචිකරුවෙකි. වෘත්තියෙන් ගෙවල් බිඳින හොරෙක් වන ඔහු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකි. වයස අවුරුදු 50 කට කිට්ටු අයෙක්වන ඔහු රට වටේම සැරිසරමින් ගෙවල් බිඳින්නෙක් ලෙස හඳුනාගත් ලියාපදිංචි අපරාධකරුවෙකි. බදුල්ල අධිකරණයෙන් ඇඟබැඳ සිටින ඔහුට එරෙහිව බණ්ඩාරවෙල අධිකරණයේ පමණක් විභාගවන නඩු ගණන 06 කි. ඒ එක් නඩුවක තීන්දුව ලබාදීමට නියමිතව තිබි ඇත්තේ ඉකුත් සතියේදීය. එයද ගෙවල් බිඳුමකි. එකී නඩුවෙන් තමාට සිරදඩුවම් නියත ලෙස හිමිවන බව ඔහු හොඳාකාරවම දැන සිට ඇත්තේය. ඒ ඇඟිලි සලකුණකිනි. ගිනි තැබෙන්නේද එකී නඩු ගොනුව තිබුණු කොටසය. ගිනි කූරු දල්වමින් ගිනි තැබිමට උත්සාහ දරා තිබුණේ ඔහුගේ සෙසු නඩු ගොනු තැන්පත්කර ඇති ස්ථානයන්ය.

‍පොලිස් විමර්ශකයන්ට මේ පුද්ගලයා ගැන යම් ඉඟියක් ලැබෙන්නේ මධ්‍යම සහ ඌව පළාත්භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ බදුල්ල වැඩබලන නියෝජ්‍ය ‍පොලිස්පති ජනක ගුණතිලක යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල කොට්ඨාසයභාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙසින් බණ්ඩාරවෙල ‍පොලිසියේ විමර්ශකයන් කළ දුරකථන ජාල විශ්‍ලේෂණයකදීය. විමර්ශකයන්ගේ පරීක්ෂාවට ලක්වන්නේ ගිනි තැබිම සිදුවූ දින සහ පෙර දින බණ්ඩාරවෙල නගරයට ආගන්තුක පුද්ගලයන්ගේ ජංගම දුරකථන ගැනය. එදා අලුයම 2.00 පමණ වන විට බණ්ඩාරවෙල නගරයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන අංකයක් ගැන අවධානය යොමුකරන විමර්ශකයන් ඒ ඔස්සේ හඹායන විට පෙනී යන්නේ ගින්නෙන් පසු එකී දුරකථනය අතැති පුද්ගලයා බණ්ඩාරවෙලින් වෙනත් ප්‍රදේශයකට පිටත්ව ගොස් ඇති බවය. එකී අංකයේ හිමිකරු ගැන වැඩි තොරතුරු සොයා බැලීමේදී පෙනී යන්නේ ඔහුට එරෙහිව බණ්ඩාරවෙල අධිකරණයේ නඩු 06 ක් විභාගවෙමින් පවතින බවකි. ‍ලේඛනාගාරය ගිනි ගන්නේ ඒ එක් නඩුවක තීන්දුව ලබාදීමට සතියක් තිබියදී බවද විමර්ශකයන්ට පෙනී ගියේය. ගිනි ගන්නේ එකී නඩු ගොනුව ඇති ස්ථානය වූ බැවින් සැකය තීව්‍රවන්නේ ඔහු වෙතය. ඒ අනුව ඔහුව කොටුකර ගැනීමට ‍පොලිස් විමර්ශකයන් ඔහු ගැවසෙන ගණේමු‍ලේ සහ කඩවත පැත්තේ කරක් ගැසුවද පෙනී යන්නේ ඔහු මේ වන විටත් කට්ටි පනිමින් සැඟවෙමින් සිටින බවකි. ඉකුත සතියේ ඔහු නඩුවට පෙනී සිටීමට අධිකරණයට පවා නොපැමිණියේය. ඒ තමන් වෙත ‍පොලිස් ඉව වැටී ඇති බව දැනගෙනය. ‍පොලිසිය උපරිම උත්සාහගෙන ඇත්තේ ඔහුව කොටුකර ගන්නටය. එසේ වී නම් මෑත ඉතිහාසයේ අධිකරණයක ‍ලේඛනාගාරයක් ගිනි තැබිමකට සැකපිට හෝ අත්අඩංගුවට ගැනෙන පළමු පුද්ගලයා වන්නේ ඔහුවනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ